සීහනාද අඩවිය

කාවන්තිස්ස වැඩපිළිවෙල - 19 වැනි පරිච්ඡේදය

හැම අවුරුද්දේ ම වෙසක් උත්සවය පවත්වන කාලෙට ඉස්සරහට එන ප්‍රශ්නයක් තමයි අපේ කොල්ලෝ ඔළුබක්කෝ නටනවා කියන එක. වෙසක් කියන්නේ ඔළුබක්කෝ නටන්න සුදුසු කාලයක් නෙවෙයි. ඒකේ ඉතින් අමුතුවෙන් අවවාද අනුශාසනා කරලා තේරුම්කරලා දෙන්න දෙයක් නෑ. ඒත් කොච්චර කිව්වත් මේ නැටිල්ල එක එක විදිහට එළියට එනවා. තොරණ් බලන්න, වෙසක් කූඩු, අනෙකුත් සැරැසිළි බලන්න පාරට බහින නඩත් එක්ක තමයි මේ වැඩේ කෙරෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය විසඳන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. හොඳින් කල්පනා කළොත් වෙසක් බැලිල්ලට වෙන ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්. මේ හදන්නේ එහෙම ක්‍රමයක් ගැන කියන්න නම් නෙවෙයි. මේ හදන්නේ ඔළුබක්කන්ට හිතු හැටියේ නටන්න අවස්ථාවක් ලබාදෙන ක්‍රමයක් ගැන කියන්න.

 

වෙසක් කාලයට නොගැලපුනත් ඔළුබක්කෝ නැටිල්ල කියන්නේ නරක දෙයක් කියලා කියන්න බෑ. ඒක එක්තරා ආකාරයක සංස්කෘතික ප්‍රකාශනයක්. ඒක තව තවත් විචිත්‍රවත් විදිහට ප්‍රකාශකරන්න අවස්ථාවක් ලබාදෙන්න අපිට පුළුවන්. ඒ වැඩේ සංස්කෘතික උත්සවයක් විදිහට සංවිධානය කරගන්න පුළුවන් නම් අපිට ඒක කරන්න බැරිකමක් නෑ. අපේ රටේ විවිධාකාර සංස්කෘතික උත්සව පැවැත්වෙනවා. සිංහල අවුරුද්ද, වෙසක්, පොසොන්, දළදා පෙරහැර ඒ අතරින් ප්‍රධානයි. සිංහල අවුරුද්ද රට පුරා ම එක විදිහට පැවැත්වුනත් ඒක කෙරෙන්නේ තරමක් අසංවිධිත විදිහකට. ඒක ගැන යමක් කියන්න අදහසක් මේ ලේඛකයාට නෑ. වෙසක් උත්සවය හරි ම විචිත්‍රවත් විදිහට කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. පොසොන් උත්සවය අනුරාධපුරය ආශ්‍රිතව බොහොම සරුවටත් අනෙක් ප්‍රදේශවල ආගමික කටයුතුවලට මුල්තැන ලැබෙන විදිහටත් පැවැත්වෙනවා.

 

කොහොම වුනත් අපි පවත්වන සංස්කෘතික උත්සව අතරින් වැඩි ම ප්‍රසිද්ධියක් ලැබිලා තියෙන්නේ නුවර පෙරහැරට. ඒක දේශ දේශාන්තරවල පවා ප්‍රසිද්ධ වුනු උත්සවයක්. ඉතින් නුවර පෙරහැර කාලයට සංචාරකයෝ අති විශාල ප්‍රමාණයක් අපේ රටට එනවා. ඉතින් දළදා පෙරහැර හින්දා අපේ අය සෑහෙන ප්‍රමාණයකට තමන් ගේ ජීවිකාව හොඳින් කරගෙන යන්නත් අවස්ථාවත් ලැබිලා තියෙනවා. මේක පෙරහැර විකුණාගෙන කෑමක් කියලා නම් හිතන්න හොඳ නෑ. දළදා හාමුදුරුවන් ‍ගේ පිහිටෙන් අපේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් තමන් ගේ ජීවිත ගැටගහගන්නවා කියලා හිතුවා ම හරි.

 

මේ වගේ විශාල සංස්කෘතික උත්සවයක් පවත්වන්න විශාල මිනිස් බලයක්, සම්පත් සමුදායක් ඕනකරනවා. දළදා මාළිගාවට පවරලා දීලා තියෙන වත්කම්වලින් ලැබෙන ආදායම්වලිනුත්, අදාළ කාලේ දී උපයාගන්නා වෙනත් මුදල්වලිනුත් මේ කටයුත්ත හොඳින් කරගෙන යන්න අපේ අයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වැඩේ බොහොම සරුවට කෙරෙනවා. ඒක ගැන අපි හැමෝ ම ආඩම්බරත් වෙනවා.

 

දළදා පෙරහැර ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන සංස්කෘතික කටයුත්තක්. මේ ගැන මුලින් ම වාර්තාකරලා තියෙන්නේ චීන ජාතික ෆා-ෂියැන් හාමුදුරුවෝ. ඒ, මීට අවුරදු 1600 කට විතර කලින්. ඒ වෙනකොට දළදාව අපේ රටට වැඩමවීමෙන් පස්සේ ගතවෙලා තිබුණේ හරියට ම අවුරුදු 100 ක් විතර කාලයක්. ඉතින් ඒ වෙද්දිත් දළදා පෙරහැර ආරම්භ කරලා. ඒ කටයුත්ත බොහොම සරුවට අභයගිරි විහාරයේ මූලිකත්වයෙන් සිදුකරලා තියෙනවා. කොහොම කොහොම හරි අපිට ඉතාමත් විචිත්‍ර සංස්කෘතික උත්සවයක් ගොඩනගාගන්න පුළුවන් වුනා. ඉතින් අපි දැන් මේ පෙරහැර අනුගමනය කරමින් තව තවත් ඒ වගේ ම පෙරහැර රට පුරා ම පවත්වනවා. කොළඹ නවම් පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කෝට්ටේ පෙරහැර ඒ අතරින් ප්‍රධානයි.

 

මේ තුළින් පෙන්වන වැදගත් ම දේ තමයි අපේ මිනිස්සුන් ගේ නිර්මාණශීලීත්වය. ඒත් එහෙම දෙයක් කරගන්න බැරි තත්ත්වයකට අපි දැන් පත්වෙලා. පහුගිය අවුරුදු 100 ක විතර කාලය ගැන හිත යොමුකරලා බැලුවොත් මේ අඩුව ගැන හොඳින් වැටහෙයි. අපේ තියෙන සම්පත්, හපන්කම් හරියට හඳුනගත්තොත් මේ වගේ තව වැඩ කරන්න බැරිකමක් නෑ. ඔළුබක්කෝ කියන්නෙත් ඒ වගේ සම්පතක්. මේ සම්පත මුල්කරගෙන අලුත් සංස්කෘතික උත්සවයක් නිර්මාණය කරගන්න බැරිකමක් අපිට නෑ. මේ කියන්නේ දැන් කරන ඔළුබක්කෝ නැටිල්ල ඒ විදිහට ම කරගෙන යන්න කියන එක නෙවෙයි. අපි කරන්න ඕන මේ කාරණය මුල් කරගත්ත අලුත් නිර්මාණයක්.

 

මෙහෙම වැඩක් කරන්න අපිට තියෙන සම්පත් මොනවා ද? ඔළුබක්කන්ට අමතරව අපේ රටේ කොච්චර නම් වෙස් මුහුණු තියෙනවා ද? අම්බලන්ගොඩ පැත්තේ අපේ මිනිස්සු ඉතාමත් විචිත්‍ර විදිහට වෙස් මුහුණු හදනවා. ඉතින් මේ විදිහට සංවිධානය කරන සංස්කෘතික උත්සවයකට වෙස් මුහුණු යොදාගන්න පුළුවන්. ඒවාට පුළුවන් මේ උත්සවය බලන්න එන අය ගේ ඇස් පිනවන්න. ඊට අමතරව සංස්කෘතික උත්සවයකට පුළුවන් වෙන්න ඕන ඒක බලන අය ගේ කණ් පිනවන්න. ඒක වෙස් මුහුණුවලට කරන්න බැරි බව අමුුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් ඒ වැඩේට යොදාගන්න පුළුවන් මොනවා ද? වෙන මොනවාත් නෙවෙයි. බෙර සහ නළා. අපේ රටේ කොච්චර නම් බෙර වර්ග තියෙනවා ද?

 

ඉතින් අපේ තියෙන වෙස් මුහුණු, බෙර, නළා එකතු කරගෙන ඉතාමත් සංවිධානාත්මක ව විචිත්‍ර විදිහට සංස්කෘතික උත්සවයක් සංවිධානය කරන්න බැරිකමක් අපිට නෑ. අවශ්‍ය නම් මේ වැඩේට වෙන රටවලිනුත් කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. එහෙම ගෙන්න ගෙන මේ වැඩේ ජාත්‍යන්තර සංස්කෘතික උත්සවයක් - ජාත්‍යන්තර බෙර සහ වෙස් මුහුණු උත්සවයක්; විදිහට පවත්වන්නත් අපිට පුළුවන්. එහෙම කළොත් මේ වැඩේ ගැන විශාල ප්‍රසිද්ධියක් ලැබෙයි. ඒ හරහා අපේ මිනිස්සුන්ට සෑහෙන්න යමක් කමක් හොයාගන්නත් අවස්ථාවකුත් උදාවෙයි.

 

ඊ ළඟට මතුවෙන ප්‍රශ්නය තමයි මේක පවත්වන්න ඕන කොතැන ද කියන එක. දළදා පෙරහැර තියෙන්නේ නුවර. ඒ වගේ ම විශේෂිත තැනැක් මේකට හොයාගන්න පුළුවන්. ඒකත් එච්චර අමාරු වැඩක් නෙවෙයි. අපේ රටේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ. ඒ හින්දා මේ උත්සවය අම්බලන්ගොඩට ආසන්න තැනක පවත්වන එක ගැලපෙනවා. හික්කඩුව පැත්ත සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධ නිසා මේ වැඩේ අම්බලන්ගොඩයි හික්කඩුවයි අතර ප්‍රදේශයක තියන්න පුළුවන්. ඒ පැත්තේ ඕන තරම් හෝටල් සහ අනෙකුත් පහසුකම් තියෙනවා. ඒ හින්දා, ඒ වගේ පහසුකම් සපයන ක්‍රම ගැන අමුතුවෙන් හිතන්න ඕනත් නෑ.

 

කරන්න ඕන වැඩෙත්, ඒක කරන්න ඕන තැනත් හඳුනගත්තාට පස්සේ කළ යුත්තේ මේ වැඩේට සුදුසු මොන කාලය ද කියන එක තේරුම්ගන්න එක. මේ ලේඛකයාට හිතෙන විදිහට නම් මේ වැඩේට වඩාත් ම ගැලපෙන්නේ අවුරුද්දේ අන්තිම දවස් කීපය. අවුරුද්දේ අන්තිමට නිවාඩු ඇරන් අපේ අයත් හතර වටේ යනවා. යන්න තැනැක් නෑ කියලා බැන බැන හැම දා ම යන තැන්වලට ම ආයෙත් යනවා. ඒ කාලෙට වෙන රටවල මිනිස්සුත් අවුරුද්ද අන්තිමේ නිවාඩු කාලෙට කරන්න දේවල් හොයනවා. ඉතින් අවුරුද්දේ අන්තිම දවස් පහ, හය කියන්නේ මේ වගේ වැඩක් කරන්න පුළුවන් හොඳ ම කාලය බවට සැකයක් නෑ.

 

දෙසැම්බර් 25 නත්තලනේ කියලා කාට හරි කියන්න පුළුවන්. නත්තල කියන්නේ මිනිස්සු සතුටු වෙන දවසක්නේ. අනිත් එක අම්බලන්ගොඩ, හික්කඩුව පැත්තේ මේ වගේ වැඩක් කළා කියලා නත්තල සමරන අයට බාධාවක් වෙන්නේ නෑ. දෙසැම්බර් 26 සුනාමිය ආව දවසනේ කියලා තව කාට හරි කියන්න පුළුවන්. ඉතින් එහෙම කියලා අපිට හැම දා ම අඬ අඬා ඉන්න පුළුවන් ද? ඒ විපතට මුහුණ දීලා අපි නැගිටිච්ච විදිහ මේ උත්සවයෙන් සංකේතවත් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ උත්සවය අම්බන්ගොඩයි, හික්කඩුවයි අතර තියෙන පෑරලියේ ම පවත්වන්න පුළුවන්. මොකද පෑරලිය කියන්නේ සුනාමිය ගැන අපේ මතකය රැඳිච්ච තැනැක්නේ.

 

මේක සංවිධානය කරන්න ඕන කවු ද? මේ වගේ වැඩකින් මූලික ම ප්‍රතිලාභ ලැබෙන්න ඕන අම්බලන්ගොඩ, හික්කඩුව පැත්තේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් මේ වැඩේ කරන්න පුළුවන් ඒ පැත්තේ මිනිස්සු මේ වෙනුවෙන් සංවිධානය කරලා. මේ වැඩේ සංවිධානය කරන්න පිහිටුවන සමාගමක කොටස්කරුවන් බවට ඒ මිනිස්සුන් ව පත්කරන්න බැරිකමක් නෑ. සංචාරක හා වෙනත් ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයටත් මේකට දායකවෙන්න පුළුවන්. මේ වගේ වැඩකට මුදල් හොයාගන්න විදිහ ගැන කියලා දෙන්න පුළුවන් මහ බැංකුව වගේ ආයතනයකට. දැනට ලෝකයේ බොහෝමයක් අලුත් වැඩවලට මුදල් හොයන ක්‍රවුඩ් ෆන්ඩින් - ඒ කියන්නේ සමූහ අරමුදල්; වගේ ක්‍රම මේකට යොදාගන්න බැරිකමකුත් නෑ.

 

රට පුරා ම විසිරිච්ච සංස්කෘතික මධ්‍යස්ථානවල පුහුණුවෙන අයට පුළුවන් මේ උත්සවයට සහභාගී වෙන ශිල්පීන් බවට පත්වෙන්න. එහෙම වුනා ම ඒ අයටත් යම් ප්‍රතිලාභයක් ලැබෙනවා. මේක විචිත්‍රවත් විදිහට සංවිධානය කරන්න ඕන පිළිවෙල කියන අදහසක් මේ ලේඛකයාට නෑ. මහනුවර දළදා පෙරහැර පවත්වන විදිහ බලලා වුනත් මේකට ක්‍රමයක් හදාගන්න පුළුවන්. වෙන රටවල්වලින් වුනත් අදාළ දැනුමක් ගත්තට වැරැද්දක් වෙන්නේ නෑ.

 

මේක තවත් හීනයක් තමයි. ඒ කොහොම වුනත්, අපේ මිනිස්සුන්ට යමක් හොයාගන්න ක්‍රම හදලාදෙන්න මේ වගේ හීනවලට පුළුවන් කියලා මේ ලේඛකයාට හිතෙනවා. අලුත් අලුත් දේ හදනවා කියන්නේ අහස්යාත්‍රා, පරිගණක, මෝටර් රථ වගේ ඒවා හදන එක විතරක් නෙවෙයි. මේ විදිහේ අලුත් උත්සව නිර්මාණය කරන එකත් ඒකට අදාළයි. ඉතින් මේ හීනය ඇත්තක් වෙයි කියලා මේ ලේඛකයාට හිතෙනවා. හීන දකින අයට එහෙම හිතෙන එක ගැන පුදුමවෙන්න ඕන නෑ.