කාවන්තිස්ස වැඩපිළිවෙල - 16 වැනි පරිච්ඡේදය
දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ කියලා පොඩි ළමයි වුනත් දන්නවා. ඒත් ඒ නගරේ සිරි ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒ පුරෙත් තියෙන්නේ ඉතින් අපේ මේ සිරි ලංකාවේ ම හින්දා ඒක අනෙක් ඒවා වගේ ම ඇති කියලා හිතාගත්තා ම ඇති. හැබැයි මේ කියන්න යන්නේ ඒ පුරේ ගැනවත්, ඒ පුරේ සිරි ගැනවත් නෙවෙයි. මාගම ගැන. මාගම කියලා එකක් තිබ්බේ රජ කාලේනේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. දැන් තියෙන්නේ හම්බන්තොටනේ. ඉතින් සිහිකල්පනාවක් ඇති කෙනෙක්ට කියන්න පුළුවන් ද හම්බන්තොට කියන්නේ දකුණු ලකේ අගනගරේ කියලා?
ඒත් අපි එක දෙයක් අමතකකරන්න හොඳ නෑ. මාගම කියලා කියපු ඒ මහා පුරය නැති වුනාට ඒ වගේ මහා නගරයක් හදන්න ඕන කරන මූලික දේවල් හම්බන්තොට වටේට තියෙනවා. දැනටමත් මහා වරායක් හදලා. ජාත්‍යන්තර ගුවන්තොටුපලකුත් හදලා. තව තව දේවල් සෑහෙන ප්‍රමාණයකුත් තියෙනවා. කිසිම වැඩකට ගන්නේ නැති මහා සම්මන්ත්‍රණ ශාලාවක් කියලා එකකුත් හදලා තියෙනවානේ. මේ හැම දෙයක් ම තිබුණාට හම්බන්තොටට නගරයක් නෑ. එතකොට දැන් තියෙන්නේ නගරයක් නෙවෙයි ද කියලා කාට හරි අහන්න පුළුවන්. හම්බන්තොට එක කාලයක නගරයක් තමයි. ඒත් ඒකට වැඩි අනාගතයක් නෑ කියලා හොඳින් කරුණු හොයලා බැලුවොත් පෙනෙයි.
දැන් තියෙන හම්බන්තොට නගරයේ බටහිර පැත්තෙන් තමයි වරාය හදලා තියෙන්නේ. නගරයේ නැගෙනහිර පැත්තෙන් ලුණු ලේවායත්, ඊටත් නැගෙනහිරින් බුන්දල අභයභූමියත් තියෙනවා. ඉස්සර වගේ ඒ-2 මාර්ගය හම්බන්තොට නගරය මැද්දෙන් යන්නේ නෑ. දැන් ඒ පාර තියෙන්නේ නගරයට උතුරට වෙන්න. ඉතින් මේ නගරය තියෙන තැන හොඳින් පරීක්‍ෂා කරලා බැලුවොත් පෙනෙයි ඒක පිහිටලා තියෙන්නේ තේ ගොට්ටක් වගේ සීමාවෙච්ච ප්‍රදේශයක කියලා. මේ විදිහේ බිමක හිරවෙච්ච නගරයකට තියෙන අනාගතය මොකක්ද? දකුණින් ගොළු මුහුද, බටහිරින් වරාය, නැගෙනහිරින් ලේවාය. පොඩ්ඩක් හරි ඔළුව උස්සන්න පුළුවන් උතුර පැත්තට විතරයි. ඒත් ජාත්‍යන්තර ගුවන්තොටුපලකින්, මහා වරායකින් සේවා ලබන්න පුළුවන් නගරයක්, ඒ හරහා යන එන මිනිස්සුන්ට සේවා ලබාදෙන්න පුළුවන් නගරයක් වෙන්න ඉඩකඩක් ඒකට නෑ.
ඉතින් මේ ගැන හිතන්න කාලය ඇවිල්ලා. අලුතෙන් ම මහා නගරයක් හදන්න අවස්ථාවක් ඇවිල්ලා. අපි ඒ විදිහට හදන අලුත් නගරයට මාගම කියලා කියමු. එහෙම කියන එක ඓතිහාසික කරුණුත් එක්කත් ගැලපෙනවා. ඉතින් වරායට උතුරින් හදලා තියෙන අලුත් ඒ-2 මාර්ගයේ උතුරු පැත්තට වෙන්න - මිරිජ්ජවිල හදලා තියෙන වියළි කලාපීය උද්භිද උද්‍යානයට නැගෙනහිරට වෙන්න මේ නගරය හදන්න පුළුවන්. ඒත් මේ විදිහේ සුන්දර සංකල්පනා මවන එක අහසේ මාළිගා හැදිල්ලකට දෙවැනි වෙන්නේ කොහොම ද? දැන් හම්බන්තොට පැත්තේ ඇති වෙලා තියෙන ජංජාල මැද්දේ මෙහෙම එකක් ගැන හිතන එකත් විහිළුවක් නෙවෙයි ද? ඒත් මේක මහ පොළොවේ හදන ක්‍රමයක් තියෙනවා. මේ පරිච්ඡේදයෙන් කියන්නේ ඒ ගැන. හැබැයි ඊට කලින් හම්බන්තොට ඇතිවෙලා තියෙන කලබැගෑනියට මූලික වූ කරුණ ගැන කියන්න ඕන.
මේ අවුලට මුල්වෙලා තියෙන්නේ මිනිස්සුන් ව අඳුරේ තිබීම. ඇත්ත කතාව හැබැයි ඊටත් දරුණුයි. මේ පැත්තේ කරන්න හදන දේවල් ගැන සාමාන්‍ය මිනිස්සු තියා ඒවා කරන්න හදන අයවත් දන්නවා කියලා හිතන්න අමාරුයි. අපේ රටේ මහා විශාල සංවර්ධන යෝජනා ක්‍රම දියත්කරලා තියෙනවා. මහවැලිය උතුරට හැරවීම තමයි ඒ ගැන පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය. ඒ වැඩේ කරන්න කලින් මහවැලි මහා සැලැස්මක් - මාස්ටර් ප්ලෑන් එකක්; හැදුවා. ඒ පැලෑනේ හැටියට කරන්න හදන දේ ගැන මිනිස්සුන්ට කිව්වා. ඒ ගැන අපේ සමාජ අධ්‍යයන පොතේ පවා තිබුණා. මහා ජලාශ ඉදිකරද්දි මිනිස්සුන් ව පදිංචිවෙලා හිටිය මුල් බිම්වලින් අයින්කරලා වෙන පළාත්වලට ගෙනියන්න සිද්දවුනා. මිනිස්සුන් ගේ ගෙවල් දොරවල් විතරක් නෙවෙයි පන්සල් දේවාල පවා අයින්කළා. තෙල්දෙණිය වගේ නගරත් අයින්කළා. ඒත් ඒ වැඩවලට විරුද්ධව අපේ රටේ මහා කලබැගෑනියක් ඇතිවුනේ නෑ. ඒ ඇයි? කරන්න හදන්නේ මොකක්ද කියලා මිනිස්සු දැනගෙන හිටියා.
ඒ විතරක් නෙවෙයි. ඒ විදිහට හදපු සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහවැලි සංවර්ධන අධිකාරියකුත් හැදුවා. මහවැලි ඇමැතිවරයකුත් පත්කළා. අදට පවා ඒ වැඩපිළිවෙල ඒ විදිහට ම ක්‍රියාත්මක වෙනවා. මේ කියන්නේ මහවැලි ව්‍යාපාරය මහා අංගසම්පූර්ණ වැඩක් කියන එක නෙවෙයි. කිසිම අඩුපාඩුවක් නැති වැඩක් කියන එකත් නෙවෙයි. මේ කියන්නේ ඒක අවුලක් නැතිව කරගෙන ගිය විදිහ ගැන.
ඉතින් ඒ විදිහේ සැලැස්මක්, ඒක ක්‍රියාත්මක කරන විදිහක් හම්බන්තොටට නෑ. අපි දැන් කියන්න පුරුදුවෙලා ඉන්නේ අපි අපේ ඉඩම් දෙන්නම්. ආයෝජකයිනි, ඔබලා එන්න. ඇවිත් කර්මාන්තශාලා හදන්න කියලා. දෙන්න ඉඩම් ඇත්තෙත් නෑ. ආයෝජකයෝ ඇවිල්ලා හදන්න යන කර්මාන්ත ගැන අපි දන්නෙත් නෑ. අපි හැමෝ ම ඉන්නේ අඳුරේ. ඇත්තෙන් ම, මේ දැන් බලයේ ඉන්න ආණ්ඩුවට කියන දොසක් නෙවෙයි. මේ අවුලට කෙළින් ම වගකියන්න ඕන මේ වැඩවලට මුලින් ම මුල්වෙච්ච ආණ්ඩුවට උපදෙස් දුන්න අය. ඇයි ඒ අයට බැරිවුනේ මහවැලි මහා සැලැස්ම වගේ එකක් හදන්න? ඇයි අපේ උගතුන්ට බැරිවුනේ මාගම සංවර්ධන සැලැස්මක් හදන්න? එහෙම එකක් හදලා ඒක අනුමත කරගෙන තිබුණා නම් ආණ්ඩු මාරුවුනත් වැඩේ කෙරෙයි. ආණ්ඩු මාරුවුනා කියලා මහවැලි මහ සැලැස්ම වෙනස්වුනේ නෑනේ.
තව දෙයක් අපි තේරුම්ගන්න ඕන. වරායක් තියෙනවා කියලා ඒකට අල්ලපු වත්තේ කර්මාන්ත හදන්න ඕනකමක් නෑ. සිංගප්පූරුවේ මහා වරායක් තිබුණාට ඒ වටේට මහා කර්මාන්ත පුරයක් නැහැනේ. කොළඹ වුනත් එහෙමනේ. තේ වවන්නේ කුරුඳුවත්තේ නෙවෙයිනේ. නුරඑළිය, බදුල්ල දිහා තේ වවලා කොළඹට ගේනවා. අපේ රටේ දැනට කරන බොහෝ නිෂ්පාදන එහෙමයි. තවත් කාරණයක් තියෙනවා. යම් නිෂ්පාදන කාර්යයක් හොඳින් කරන්න, ඒ විදිහේ වැඩකරන තැනක අහල පහළ වරායක්, ගුවන් තොටුපොලක් තියෙන්න ඕනකමකුත් නෑ. මේ ගැන පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි පකිස්ථානයේ තියෙන සියල්කොට් නගරය.
සියල්කොට් නගරය තියෙන්නේ කරච්චියේ ඉඳලා කිලෝ මීටර් 1300 කටත් වඩා දුරින්. ඉන්දීය දේශ සීමාව පේන මානයේ. නිතර ම යුද ගැටුම් ඇතිවෙන ජම්මු කාශ්මීර ප්‍රදේශය ආසන්නයේ. 2006 අවුරුද්දේ මේ ලේඛකයා තවත් කණ්ඩායමක් එක්ක සියල්කොට් බලන්න යද්දි අපේ කණ්ඩායම ගිය බස් රඨයට ඉස්සරහිනුත් පස්සෙනුත් පොලිස් ආරක්‍ෂාව දුන්නා. ගුජරන්වාලා ඉඳලා සියල්කොට්වලට යද්දිත් ආපහු එද්දිත් පොලීසිය අපේ ආරක්‍ෂාව ගැන වදවුනා. ඒකට හේතුව තමයි සියල්කොට් ප්‍රදේශයේ තියෙන අනාරක්‍ෂිතකම. ඒත්, සියල්කොට් කියලා කියන්නේ පකිස්ථානයේ වැඩි ම ඒක පුද්ගල ආදායමකට හිමිකම් කියන ජනතාවක් ඉන්න ප්‍රදේශය. පකිස්ථානයේ අපනයනවලින් සියයට දහයකට විතර දායකවෙන්නේ ඒ මිනිස්සු. අවුරුද්දකට ඩොලර් බිලියන දෙකකට වැඩි ආදායමක් ඒ මිනිස්සු උපයනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අයට පුළුවන් වුනා තමන් ගේ ම කියලා ගුවන් තොටුපොලකුත් හදාගන්න. ඒක තමයි දැනට පාකිස්ථානයේ තියෙන පුද්ගලික අංශයට අයිති එක ම ගුවන්තොටුපොළ.
ඒ හින්දා, හම්බන්තොට වරායට හේත්තු කරලා, ඒකෙන් සේවා ලබාගන්න කර්මාන්තශාලා හදන්න වදවෙන්න ඕනකමක් නෑ. ඒවා හදන්න තැන් අපේ රටේ ඕන තරම් තියෙනවා. හම්බන්තොට වරායට නැගෙනහිරින් සහ බටහිරින් තියෙන ඉඩම් යොදාගන්න ඕන වරාය ආශ්‍රිත ව කරන්න පුළුවන් වෙන වැඩකට. ඒ ඉඩම්වල මිනිස්සු පදිංචිකරන්න ඕන කියලා නෙවෙයි මේ කියන්නේ. ඒවා වෙනත් විදිහේ ආදායම් උපද්දවන කටයුතුවලට යොදවන්න පුළුවන්. වරායකට එන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකා විතරක් නෙවෙයිනේ. සංචාරකයනුත් එනවා. ඉතින් ඒ ආශ්‍රිත ඉඩම් සංචාරක, විනෝද, අධ්‍යාපනික ආශ්‍රිත ආයෝජන කටයුතුවලට යොදවන්න පුළුවන්. ඒකට ඕන කරන මහ සැලැස්ම හදන්න ඕන අපි. ඊට පස්සේ ඒකට ඕන කරන ආයෝජකයෝ හොයාගන්න පුළුවන්. ඒත් එහෙම වැඩපිළිවෙලක් නෑ.
ඒ විතරක් නෙවෙයි. මාගම නගරය හදන එකත් සැලැස්මක් යටතේ කරන්න ඕන. එහෙම නොවුනොත් පාරවල් දිගේ කඩ තියෙන තවත් නගරයක් හැදිලා තියෙයි. ඒ ඒ වෙළෙන්දෝ කරන වෙළෙඳාම හැටියට ඒ අය ව මහා වෙළෙඳ ගොඩනැගිලිවලට ගොනුකරලා තියෙන විදිහ අපි වෙන රටවල්වල දැකලා තියෙනවා. ක්වලාලාම්පූර් වගේ නගරවල තියෙන මේ වගේ වෙළෙඳ මධ්‍යස්ථාන සංචාරකයන් ඇදගන්න තරම් ආකර්ශනීය වෙලා තියෙනවා. ඉතින් අපේ සමහර අයත් ෂොපින් යන්න ම කියලා හිතාගෙන මැලේසියාවට යනවා. ඉතින්, නිවාස හදන්න ඕන කලාප, පාසල් රෝහල් වගේ පොදු ගොඩනැගිලි හදන්න පුළුවන් කලාප, උද්‍යාන මං මාවත් හදන්න ඕන විදිහ, තදබදයක් ඇති නොවෙන විදිහට ප්‍රවාහන ක්‍රම සැලසුම් කරන විදිහ, විශේෂයෙන් ම කුණු කඳු හදන්නේ නැති ව කසල ප්‍රශ්නය විසඳගන්න විදිහ ඒ විදිහේ සැලැසුමකට ඇතුළුකරන්න පුළුවන්.