කාවන්තිස්ස වැඩපිළිවෙල - 15 වැනි පරිච්ඡේදය
මීට අවුරුදු 35 කට විතර ඉස්සර අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනාවා. තාත්තා ඌට නම තිබ්බේ “චණ්ඩි” කියලා. මේ “චණ්ඩියා” බොහොම ඉක්මනට ලොකු මහත් වුනා. ගෙදරට එන හැම පිටස්තරයෙක්ට ම චණ්ඩි පාට් දාන්නත් පටන්ගත්තා. ඒ හින්දා, මේ චණ්ඩියාව දම්වැලකින් බැඳලා තියන්න අපිට සිද්දවුනා. අපේ චණ්ඩියා ළඟ “හොඳ” පුරුදු ගණනාවක් තිබුණා. එළියට පහළියට යන්න ඕන වුනා ම ඌ පිළිපැද්දේ ඒ වගේ ක්‍රමයක්. උවමනාවක් ඇතිවුනා ම ඌ කෑ ගහනවා. කෑ ගහන සද්දෙන් අපි දන්නවා උවමනාව මොකක්ද කියලා. ඉතින් අපි ඌව දම්වැලෙන් ලිහනවා. දම්වැලෙන් ලිහපු චණ්ඩියා එක හුස්මට දුවන්නේ අල්ලපු වත්තට. අපේ වත්තත් අක්කර එකහමාරක් විතර ලොකුයි. ඒත් මේ හාදයා තමන් ගේ බර සැහැල්ලු කරගන්න තෝරාගෙන හිටියේ අල්ලපු වත්ත. ඒ කාලේ, ඒ වත්තේ කවුරුවත් පදිංචිවෙලා හිටියේ නෑ. ඉතින් තමන් ගේ ඒ “හොඳ” පුරුද්ද ඒ විදිහට ම කරගෙන යන්න චණ්ඩියාට පුළුවන් වුනා.
හැබැයි අපි මිනිස්සු. අපි ඒ වගේ “බලු වැඩ” කරන්නේ නෑ. අපේ ඒ වගේ අවශ්‍යතා ගේ ඇතුළේ ම ඉෂ්ට කරගන්න දැන් අපිට පුළුවන්. ඉස්සර නම් බාල්දියක් උස්සගෙන අඩි දහයක, පහළොවක දුරක් යන්න ඕන. ඒත් අපි දැන් දියුණුයි. මිනිස්සු කියන්නේ කොහොමත් උසස් සත්ත්ව කොට්ඨාශයක්නේ. අපිට මිනිස්සු කියලා කියන්නේ මනස උසස් හින්දා කියලා කතාවකුත් තියෙනවානේ.
එළියට පහළියට යන වැඩේ විතරක් නෙවෙයි. ගෙදර එකතුවෙන කුණු පවා වත්ත ඇතුළේ ම අවසන්කරන්න අපි පුරුදුවෙලා හිටියා. ඉතින් අපේ මිනිස්සු කවදාවත් සගම කුණු පස්ගමටවත්, පස්ගම කුණු අරත්තනටවත්, අරත්තන කුණු මාදන්වලටවත්, මාදන්වල කුණු විල්වලටවත්, විල්වල කුණු කඩදොරටවත්, කඩදොර කුණු මොරපායටවත් පැටෙව්වේ නෑ. ඒත් අපි දැන් ඒ වගේ පසුගාමි, සාම්ප්‍රදායික වැඩ කරන්නේ නෑ. මොකද අපි දැන් දියුණුවෙලා ඉන්නේ. එන්න එන්න ම තව තවත් දියුණුවෙනවා. තියෙන දැනුම වුනත් සුළුපටු නෑනේ. පෙයි-චිං නුවර පරිසර දූෂණය ගෙදර ඉඳලා ෆේෂ්බුක් එකෙන් ම බලාගන්න පුළුවන්. අනේ ඒ මිනිස්සු කොච්චර පසුගාමි ද? අපිට තරම් ඉංග්‍රීසි කතාකරන්නත් බෑනේ.
ඉතින් අපි දැන් අනුගමනය කරන්නේ දියුණු ක්‍රම. අපි අපේ කුණු අනුන් ගේ වතුවලට දානවා. අපෙන් බදු අයකරන හින්දා ඒ කුණු අයින්කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි ඒ බව ප්‍රාදේශීය සභාවටත් කියනවා. නගර සභාවටත් කියනවා. කුණු කියන්නේ ගඳ ගහන දෙයක්නේ. ඉතින් ඒක අපෙන් දුරස් කරන්න ඕන. කොළඹ කුණු කොළඹ තියාගන්න බෑ. ගම්පහ කුණු ගම්පහ තියාගන්නත් බෑ. නුවර කුණු නුවර තියාගන්නත් බෑ. ඒවා ටිකක් ඈතට යවන්න ඕන. අපිට පේන්නේ නැති තැනකට යවන්න ඕන. අපිට ගඳ දැනෙන්නේ නැති තැනකට ඒවා යවන්න ඕන. එහෙම වුනොත් අපිට අපේ ගෙවල් දොරවල් පිරිසිදුව තියාගන්න පුළුවන්. හොඳ ලස්සනට, ශිෂ්ට සම්පන්න විදිහට ජීවත්වෙන්න පුළුවන්.
මේක මේ ගෙවල්වල ඉන්න අපි විතරක් කරන වැඩක් නෙවෙයි. ලෝකෙ කාටවත් දෙවැනි නැති උගත්තු, පණ්ඩිතයෝ ඉන්න අපේ විශ්වවිද්‍යාල ගැන බලන්න. ඒ වගේ දැනමුත්තෝ ඉන්න තැන්වල කුණු වුනත් දුරින් දුරු කරනවානේ. මොන මෝඩයෝ ද කුණු ළඟ තියාගන්න කැමැති? ඉතින් වරායත් එහෙමයි. රේගුවත් එහෙමයි. මහ බැංකුවත් එහෙමයි. ශ්‍රේෂ්ඨාධිකරණයත් එහෙමයි. අනිත් අය හරියට වැඩ කරනවා ද කියලා හොයලා බලන විගණකාධිපති දෙපාර්තමේන්තුවත් එහෙමයි. ඔය ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, පාර්ලිමේන්තුව වගේ තැන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. විශ්වවිද්‍යාලවල වගේ, අර කලින් කියපු අනික් ආයතනවල ඉන්න අයට වගේ පිරුණු දැනුමක්, බුද්ධියක් දේශපාලනඥයන්ට කොහොමත් නැහැනේ.
ඉතින් ඕක තමයි ක්‍රමේ. අපේ කුණු වෙන කොහෙට හරි ගිහිල්ලා දාන්න ඕන. මේ ලේඛකයාත් කාලයක් කොළඹ රස්සාව කළා. අවුරුද්දක් විතර වැල්ලවත්තෙත් ජීවත්වුනා. ඉතින් මේ ලේඛකයා ගේ කුණුත් යන්න ඇත්තේ මීතොටමුල්ලට ම තමයි. මුල් කාලේ නම් අර කොළඹ බ්ලූමැන්ඩල් කුණුකන්ද හදන්නත් මේ ලේඛකයා දායක වෙන්න ඇති. කොහොම හරි මීතොටමුල්ලේ කුණුකන්ද කඩා වැටුණා. මිනිස්සු බර ගානකුත් මැරුණා. මැරිච්ච ගාන කීයද කියලා ටක්කෙට ම දැනගන්න අදහසින් අපි දවල් රෑ නැතිව ප්‍රවෘත්ති බැලුවා. ඒ ගාන මදි නම් නිකම් මොකක්ද වගේ.
ඒ විතරක් නෙවෙයි. මිනිස්සු බනිනවා. සමහරු මේ ආණ්ඩුවට බනිනවා. සමහරු අර ආණ්ඩුවට බනිනවා. මේ ආණ්ඩුවේ අය ගිය ආණ්ඩුවට බනිනවා. ගිය ආණ්ඩුවේ අය මේ ආණ්ඩුවට බනිනවා. අරයා මෙයාට බනිනිවා. මෙයා අරයාට බනිනිවා. ඒත් මේ ලේඛකයා දන්නවා මේ මිනිමැරිල්ලට තමනුත් දායකවෙලා තියෙන බව. මමත් මිනීමරුවෙක්! මේ කන්ද කඩා වැටිලා මිනිස්සු මැරුණේ. ගෙවල් දොරවල් විනාශවුනේ අපි ඔක්කොම එකතුවෙලා කරපු හපන්කමක් හින්දා. අපේ කුණු පිටට දුන්නා වගේ කාට කාට හරි බැනලා අපේ පව් පිටට දෙන්න පුළුවන්කමක් නෑ. අපි මේ ඇත්ත පිළිගන්න ඕන. ඒත් අපි මොනවා කරන්න ද? අපි නෙවෙයිනේ මේ රට පාලනය කරන්නේ? අපි මෙහෙම කරන්නේ වෙන විකල්පයක් නැති හින්දානේ. ඉතින් අපි අපිට ම බැනගත්තා කියලා ලැබෙන සෙතේ මොකක් ද?
ඒ කියන්නේ, ඉස්සරහට වෙන්න ඕනත් මේ දේ ම ද? මේ වැඩේට වෙන විසඳුමක් නැති ද? කුණු වෙන්කරනවා වගේ වැඩ ගැන කිව්වාට ඒවා කරන්න අමාරුයිනේ. ඒ හින්දා, ගෙවල් මට්ටමෙන් ඒ වගේ වැඩ කරන්න බෑ. එහෙම කියලා ආපහු අර “බලු වැඩේ ම” කරගෙන යන්න අපිට පුළුවන් ද? මේකට විසඳුමක් නැත්තේ නෑ. ගෙවල් මට්ටමෙන් කුණු අවසන් කරන්න බැරි නම්, ඊට වඩා ටිකක් ලොකු මට්ටමකින් ඒක කරන්න පුළුවන්. අපි ඒ විදිහේ ක්‍රමයක් ගැන කල්පනා කරලා බලමු.
වරායට පුළුවන් තමන් ගේ කුණු වරාය ඇතුළේ ම එකතුකරලා වර්ගකරන්න. ඒ විදිහට ම, මහ බැංකුවට, රේගුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, අනෙකුත් සියළු ම රජයේ කාර්යාලවලට, පුද්ගලික සමාගම්වලට, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරුණු විශ්වවිද්‍යාලවලට, පාසල්වලට, ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට, පාර්ලිමේන්තුවට මේ වැඩේ කරන්න පුළුවන්. මේවා ගෙවල් වගේ පොඩි තැන් නෙවෙයිනේ. ඒ අය දැනටමත් තමන් ගේ කුණු අයින් කරන්න වියදම්කරනවා. ඉතින් ඒ අයට පුළුවන් තමන් ගේ කුණු තමන් ගේ ආයතනයේ ම තැනකට එකතු කරලා වර්ගකරන්න. වර්ග කරපු කුණු පිටට දෙන්න. එතකොට ගෙවල්වල කුණු? ඒක ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් කරන්න පුළුවන්. කොළඹ පවා ග්‍රාම නිලධාරි කොට්ඨාශවලට බෙදලානේ තියෙන්නේ. තිඹිරිගස්යාය වගේ සෙනග වැඩි ග්‍රාම නිලධාරි වසම්වල කුණු එකතුකරලා වර්ගකරන තැන් කීපයක් හදන්න පුළුවන්.
මේ වගේ දිනපතා කරන වැඩකට මහ ඉඩක් ඕන නෑ. උදාහරණයක් විදිහට මේ ලේඛකයා දැනට රැඳිලා ඉන්න චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ මේ වැඩේ කරන තැනක් තියෙනවා. ළමයි විසිදාහකට වඩා ඉගෙනගන්න මේ විශ්වවිද්‍යාලයේ ඔක්කොම කුණු එකතුකරන්නේ වර්ග අඩි 150 ක් විතර ලොකු කඩ කාමරයක් වගේ තැනකට. හැම දා ම උදේට බක්කි තියෙන රෝද තුනේ බයිසිකල්වලින් කුණු එකතුකරලා එතෙන්ට ගෙනියනවා. එතැන වැඩකරන අය කුණු වර්ගකරනවා. වර්ග කරලා සකස්කරපු කුණු තමයි හවස් වෙද්දි එතැනින් පිටකරන්නේ. ඉතින් ජරාව පෙරාගෙන පාරවල් දිගේ දුවන කුණු ලොරි පෙයි-චිං නගරයේ දකින්න නෑ.
වෙන් කරපු කුණුවලින් කඳු හදන්න ඕන නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ විදිහේ කුණු හරි ම ලේසියෙන් සල්ලි කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳ බිස්නස් එකක්. ඉතින් ඒ හින්දා මේ වගේ වැඩ ආණ්ඩුව භාරගන්න උවමනා නෑ. පුද්ගලික සමාගම්වලට හරි, මිනිස්සු එකතුවෙලා හදාගත්ත හවුල් සමාගම්වලට හරිි මේ වගේ වැඩ කරන්න පුළුවන්. ආණ්ඩුව කරන්න ඕන ඒ වැඩ අධීක්‍ෂණය කරන එක විතරයි. මේ වගේ වැඩවලට ඕන මූලික පහසුකම් සපයලා දෙන එක විතරයි.
දැන් තියෙන ක්‍රමේට කුණු කොන්ත්‍රාත් එක දෙන්නෙත් ජරාවට. හුඟක් වෙලාවට පාතාලයට. මොකද ඒක ගැන මිනිස්සුන්ට හොයන්න බලන්න බෑ. ඒ, ඒ වැඩේ මිනිස්සුන්ගෙන් ඈත්කරලා තියෙන හින්දා. ඒත් මිනිස්සුන් ගේ ම සමාගමකට මේ වැඩේ පැවරුවා ම එහෙම වෙන්න පුළුවන්කමක් නෑ. තම තමන් ගේ ග්‍රාම නිලධාරි වසම තුළ ක්‍රියාත්මක වෙන ක්‍රමයක දී ඒ වගේ සෙල්ලම් කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. තමන් ජීවත්වෙන වසම ඇතුළේ සිද්දවෙන හැම දෙයක් ම මිනිස්සුන්ට පේනවා. අනිත් අතට, මිනිස්සු ම තමයි ඒ වැඩේ හවුල්කාරයෝ වෙන්නෙත්. ඉතින් මේ වැඩේ හොඳින් කරගෙන යන්න ඕන කරන වියදම් ගෙවන්නත්, ඒ ගැන නිතර ම හොඳින් හොයලා බලන්නත් මිනිස්සුන්ට ම පුළුවන්.
කුණුවලට ඔය කියන තරම් වෙළෙඳපොළක් නැතිවුනොත් මොකද කරන්නේ කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඇත්තට ම වෙළෙඳපොළක් ඉබේ ඇතිවෙන්නේ නෑ. ඒක පිළිවෙළකට සකස්කරන්න ඕන. වෙන්කරලා සකස්කරපු කුණු මිල දී ගන්න වැඩේට මහා පරිමාණ සමාගම් යොදවන්න පුළුවන්. මුල් කාලයේ දී ඒ වැඩේ ආණ්ඩුවට ම වුනත් කරන්න පුළුවන්. මේ වැඩේ මිනිස්සුන්ට ම පවරලා තියෙන හින්දා ඒ වෙනුවෙන් වෙන්කරපු ආණ්ඩුවේ වැය ශීර්ෂ ඉතිරිවෙලානේ තියෙන්නේ. ඉතින් මේ වැඩේ දිරිගන්වන්න ඒ මුදල් යොදන්න බැරිකමක් නෑ.