කාවන්තිස්ස වැඩපිළිවෙල - 14 වැනි පරිච්ඡේදය
උපාධි කඩ ගැන නම් නිතර ම කතාවෙනවා. ටියුෂන් කඩත් අඩුවක් නැතුව තියෙනවා. උපාධි කඩ ගැන කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයනුත් පොඩි පොඩියට ටියුෂන් බිස්නස් එකක් දෙකක් කරගන්නවා. ඒවාට ඕන නම් ටියුෂන් පෙට්ටි කඩ කියලා කියන්න පුළුවන්. මේ වගේ අය බොහෝ වෙලාවට කරන්නේ ගෙවල්වලට ගිහිල්ලා ටියුෂන් දෙන එක. මේ ලේඛකයාත් ඔය බිස්නස් එක මාස කීපයක් කරලා තියෙනවා. කස්ටමර්ස්ලා ඉන්නවා නම් මේ වගේ බඩු ටිකක් විකුණන එකේ වැරැද්දකුත් නැහැනේ. මත්කුඩු, කසිප්පු විකුණනවා වගේ සමාජයට හානියක් කරන බිස්නස් එකකුත් නෙවෙයිනේ. ඉගෙනගන්න ළමයින්ට කරන උදව්වක් විදිහට සළකන්නත් පුළුවන්නේ. ඉතින් ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන එක නරකක් කියලා හිතන අය සෑහෙන ප්‍රමාණයක් අපේ සමාජයේ ඉන්නවා කියලා හිතන්න අමාරුයි.
“නළාවේ අයිතිය හොඳහිතට” කියලා ලියපු මෙයට පෙර පරිච්ඡේදයෙන් “නිදහස් අධ්‍යාපනය” සුරකින්න පුළුවන් විදිහත් ඒ හරහා අපේ මිනිස්සු පොහොසත් කරන්න පුළුවන් විදිහත් පැහැදිළි කළා. අද කියන්නේ වෙන කඩයක් ගැන. ඇත්තෙන් ම කඩ තුනක් ගැන. මේ ලේඛකයා නිතර ම ගමන් බිමන් යන්නේ බස්වලින්, දුම්රියෙන්. තමන්ට කියලා වාහනයක් මිල දී ගැනීමේ අදහසක් තවමත් ඔහුට නෑ. ඉස්සරහට ඒ ගැන තවදුරටත් හිතලා බලලා තීරණයක් ගන්න පුළුවන්. මොකද වාහනයක් මිල දී නොගත යුතුයි කියලා ශික්‍ෂාපදයකුත් නැහැනේ. ඒත් ඒ වැඩේ ගැන පස්සේ හිතමු. දැන් මේ බස් - දුම්රිය කඩ කතාව කියමු.
අපේ අය නිතර ම කියන්නේ බස්, දුම්රිය කියලා කියන්නේ සේවා මිසක් බිස්නස් එකක් නෙවෙයි කියලා. ඉතින් ඒ සේවා සැපයීමට ආණ්ඩුව බැඳිලා ඉන්නවා කියලා ඒ අය කියනවා. ඒත් ආණ්ඩුවට සල්ලි නෑ. දැන් තියෙන ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මීට කලින් අපේ රට කරපු ආණ්ඩුවලටත් සල්ලි තිබුණේ නෑ. ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ අපි බදු ගෙව්වොත්නේ. අපේ අතෙත් එහෙමකට සල්ලියක් නැහැනේ. අපිත් ඉතින් ඔය වක්‍ර විදිහට ගෙවන බදු මිසක් කෙළින් ම බදු ගෙවන වැඩවලට වැඩි කැමැත්තකුත් නැහැනේ. ඉඩමක් ගන්න කොට ඒකේ මිල අඩුවෙන් සඳහන් කරලා, කීයක් හරි ඉතිරි කරගන්න අකැමැති කවුද? අතේ එහෙමකට සල්ලියක් නැති හින්දා අපි කන්නේ බොන්නේ වුනත් බොහොම පිරිමහාගෙන. ඉතින් ආණ්ඩුවට වක්‍ර බදු වුනත් හරියකට ලැබෙන්නේ නෑ.
දුප්පත් අපි විතරක් නෙවෙයි. වෙළෙන්දෝ වුනත් එහෙමයි. අපි බඩුවක් මුට්ටුවක් ගන්න වෙලාවට බිලක් දෙන්නේ කීයෙන් කී දෙනා ද? පිටරටින් බඩු ගෙන්වන අයත් පොඩි පොඩි සෙල්ලම්කරනවානේ. නියම විදිහට බදු ගෙවලා බඩු ගෙනාවොත් ඒවා අපේ අයට විකුණන්නත් බෑ. ගිනි ගණන් දීලා බඩු ගන්න කා අතේ ද සල්ලි තියෙන්නේ? ඉතින් බඩු ආනයනය කරන අය කරන්නේ එක විදිහකට අපිට බදු සහනයක් ලබාදෙනවා වගේ වැඩක්.
හරියට ආදායමක් නැති වුනාට ආණ්ඩුවට සෑහෙන්න වියදම් තියෙනවා. එක පැත්තකින් මහ විශාල ආණ්ඩුවක් නඩත්තුකරන්න ඕන. ඒ හරහා කරන සෙල්ලම් ගැන නම් ඉතින් හැමෝ ම කියනවානේ. ඒවා ගැන දිගට හරහාට කිය කියා ඉන්න එකෙන් කාටවත් වැඩක් වෙන එකක් නෑ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට එහෙමත් වියදම්කරනවානේ. ඉස්පිරිතාල කඩත් තියෙනවා. ඊට අමතර ව, එක ගමක ඩිස්පැන්සරි කඩ තිහක් හතලිහක් විතරක් තියෙනවා. එහෙම වුනත් අපි ආණ්ඩුවේ ඉස්පිරිතාලවලටත් යනවානේ. ඉතින් ඒවාට ආණ්ඩුව වියදම් කරන විදිහ අපි දන්නවා. අපි කවුරුවත් වැඩියෙන් හිතුවේ නැති වුනාට, අලුතෙන් හදලා තියෙන අධිවේග මාර්ග දෙක තුනට විතරයිනේ අපි සල්ලි ගෙවන්නේ. අනික් පාරවල්වල යන්න අපි සල්ලි ගෙවන්නේ නෑ. ඒත් පාරවල් හදන එකත් ආණ්ඩුව කරන ලොකු වියදමක්.
මේ විදිහේ සෑහෙන වියදම් ප්‍රමාණයක් ආණ්ඩුවට තියෙනවා. ඉතින් අපි දන්න කාලෙක ඉඳලා මේ රටේ ආණ්ඩුවල ආදායමට වඩා වියදම වැඩියි. අඩු පාඩුව - ඒ කියන්නේ, අය-වැය හිඟය; පියවගන්නේ ණය ඇරගෙන. රෝල ගහන්න දන්න ආණ්ඩු කොහොම කොහොම හරි ජාම බේරගන්නවා. ඒක කරන්න බැරි අය හත් පොලේ ගාගන්නවා. රෝල ගහලා ජාම බේරගත්ත ආණ්ඩු ගැනත්, ඒක කරගන්න බැරිව අනාගත්ත ආණ්ඩු ගැනත් පාඨකයන්ට ම හිතලා බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා, ඒ ගැන යමක් කියන අදහසක් මේ ලේඛකයාට නෑ.
දැන් බස් - දුම්රිය කඩ කතාව කියන්න පටන්ගනිමු. අතේ සල්ලි නැතුව ආණ්ඩුව කරගෙන යන මේ බස් - දුම්රිය සෙල්ලම දැක්කා ම වෙලාවකට හිනාත් යනවා. මේකට බස් - දුම්රිය කෝලම - එහෙම නැතිනම් නාඩගම කියලා කියන්නත් පුළුවන්. එක පැත්තකින් මේවා දුවන්න සල්ලි නෑ. ඒ මදිවට ඒවා රස්සා දෙන ආයතන බවටත් පත් කරගෙන. ආණ්ඩුවේ එක බස් එකකට සේවකයෝ දහයක් ද පහළොවක් ද කොහෙද ඉන්නවා කියලාත් කියනවානේ. එහෙම ගණන් හිලව් නොකිව්වාට දුම්රිය ගැනත් අපි දන්නවා. ඒ මදිවට පුද්ගලික බස් සේවයක් කියලා එකකටත් - ඇත්තෙන් ම එකකට නෙවෙයි, දස දහස් ගණනකටත්; වැඩේ භාරදීලා. ඒ අයත්, ඒ අයට හිතු හිතු විදිහට බස් දුවවනවා. ඉතින් අපේ රටේ බස් - දුම්රිය දිවිල්ල මල කෝලමක් බවට පත්වෙලා.
ඇයි මේක බිස්නස් එකක් විදිහට කරන්න බැරි? අපේ රටට බස් කොම්පැනි දෙකක් තිබුණ නම් හොඳට ම ඇති. එකක් තිබ්බත් ඇති. ඒත් දෙකක් තියෙනවා නම් පොඩි තරගකාරීත්වයක් ඇති කරන්න පුළුවන්. එතකොට මේවා අයිතිවෙන්න ඕන කාට ද? මුදලාලිලා දෙන්නෙක්ට ද? එහෙම වෙන්න ඕන නෑ. මේ සමාගම් දෙකේ කොටස් ආණ්ඩුවට, දැන් පුද්ගලික බස් දුවවන අයට, සාමාන්‍ය ජනයාට මිල දී ගන්න පුළුවන්. ඒත් කවුරුවත් ඒ වගේ සමාගමක කොටස් මිල දී ගන්නේ නෑ ඒකෙන් ලාභයක් ලබන්න බැරි නම්. ඉතින් වියදම් පිරිමහගෙන, ලාභයකුත් උපදින විදිහට බස් දිව්වා නම් හරිනේ.
එතකොට දැන් ආණ්ඩුව ලබාදෙන සහන සේවා? උදාහරණයක් විදිහට ගත්තොත් මාසික වාර ප්‍රවේශපත්‍ර - සීසන්. අදාළ සහන ලබාදෙන අයට ම ඒ වැඩේ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම්, පාසල් ශිෂ්‍යයන්ට සහන මිලකට සීසන් ලබාදෙන්න ඕන නම්, එක කරන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ බර ඇයි බස් - දුම්රිය කර්මාන්තයට පටවන්නේ? රජයේ ආයතනයක හරි වෙනත් ආයතනයක හරි සේවය කරන සේවකයන්ට ලබාදෙන ප්‍රවාහන සහනාධාර වුනත් එහෙමයි. ඒක ඒ ඒ ආයතනවලට ම කරන්න පුළුවන්. සමෘද්ධි වගේ සහනාධාර ලබන අයටත් අදාළ වැය ශීර්ෂ යටතේ ම උදව්කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කළොත් තමයි බස් - දුම්රිය අවුලක් නැතිව දුවන්න පුළුවන්වෙන්නේ. ඒවායෙන් බලාපොරොත්තු වෙන සේවය මිනිස්සුන්ට ලබාදෙන්නත් පුළුවන්වෙන්නේ.
ඒ හින්දා බස් - දුම්රිය කර්මාන්තය සළකන්න ඕන හොඳ බිස්නස් එකක් විදිහට. එහෙම වුනොත් විතරයි ඒකට කීයක් හරි ආයෝජනය කරලා සාමාන්‍ය ජනතාවටත් කීයක් හරි හොයාගන්න පුළුවන්. ඉතින් හොඳ ව්‍යාපාර සැලැස්මක් යටතේ මේ අවස්ථාව ඇතිකරන්න පුළුවන්. ඒක කළමනාකරණය කරන ක්‍රමයකුත් හදලා දෙන්න පුළුවන්. දුම්රිය කියන්නේ ලොකු ප්‍රාග්ධනයක් ඕන කරන බිස්නස් එකක් හින්දා ඒකට විදේශ ආයෝජන වුනත් හවුල් කරගන්නත් පුළුවන්. මොන විදිහෙන් හරි මේ වැඩේ කරන්න ඕන බිස්නස් එකක් විදිහට.
එතකොට දැන් තියෙන ආණ්ඩුවේ බස්? දැන් තියෙන පුද්ගලික බස්? ඒවායේ වටිනාකම ඇස්තමේන්තු කරලා මේ විදිහට හදන බස් සමාගම් දෙකට පවරන්න බැරිකමක් නැහැනේ. එතකොට ඒවා ගේ වැඩකරන අය? සුදුසුකම් තියෙන අය අවශ්‍ය ප්‍රමාණයට බස් සමාගම් දෙකට බඳවාගන්න පුළුවන්. ඒත් ලංගම, දුම්රිය වගේ ආයතනවල මහා විශාල සේවකයෝ ප්‍රමාණයක් ඉන්නවානේ. ඒ අයට මොකද කරන්නේ? ඒ අය ව ගෙදර යවන්න. මේක මහ අමනුස්ස යෝජනාවක් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් මේ කිව්වේ ඒ අය ව ගෙදර යවන්න කියලා මිසක්, ඒ අය ව පාරට ඇදලා දාන්න කියලා නෙවෙයිනේ. ඒ අයට අදටත් ආණ්ඩුව නිකම් පඩි ගෙවනවා. ඉතින් ඒ අය ව, ඒ අය ගේ ගම්වල ම හදන සංචිතයකට දාලා ඒ පඩි ගෙවිල්ල ඒ විදිහට ම ආණ්ඩුවට කරගෙන යන්න පුළුවන්. ඒක බස් - දුම්රිය සමාගම් විසින් කළ යුතු නෑ. ගම් මට්ටමේ සංචිතවලට යවපු අය ව ඕන ඕන කරන වෙලාවට වෙනත් සුදුසු වැඩවලට අනුයුක්ත කරන එක ආණ්ඩුවේ වැඩක්.
මේ කියන්නේ ජනතාවට ප්‍රවාහන සේවා සැපයීමේ වගකීමෙන් ආණ්ඩුව ඉවත්විය යුතුයි කියන එක ද? උඩින් කියපු විදිහට බස් කඩ දෙකකුත් දුම්රිය කඩයකුත් හැදුවා කියලා ආණ්ඩුවේ වගකීම වෙනස්වෙන්නේ නෑ. ආණ්ඩුව දිගට ම ඒ වගකීම දැරිය යුතුයි. හැබැයි ඒක කරන්න ඕන බස් - දුම්රිය දිවිල්ල කරේ තියාගෙන නම් නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕන මේ දිවිල්ල - මේ බිස්නස් එක; මිනිස්සුන්ට සෙතක් වෙන විදිහට කරගෙන යනවා ද කියලා අධීක්‍ෂණය කරන එක. ඒ සමාගම්වලට අවශ්‍ය පොදු පහසුකම් සළසාදෙන එක. ඒවායේ කටයුතු නියාමනය කරන්න උදව්වෙන විදිහට නීති හදලා දෙන එක. බස් - දුම්රිය ධාවනයට උපකාරී වෙන නවීන ශිල්ප ක්‍රම හඳුන්වලා දෙන එක.
තමන් ව්‍යාපාරයක පාර්ශ්වකාරයන් කියන හැඟීම සේවකයන් තුළ තියෙනවා නම්, තමන් කරන්නේ බිස්නස් එකක් කියන එක ඒ අයට වැටහෙනවා නම්, ඒ අය දන්නවා බිස්නස් එකෙන් ලාභ ලබන්න කොහොම ද වැඩකරන්න ඕන කියලා. ඒ වගේ ම මේවා හරහා හම්බකරගන්න අවස්ථාවක් මිනිස්සුන්ටත් ලැබෙනවා. ඉතින් බස් කඩ දෙකකුයි දුම්රිය කඩයකුයි ඇති කරන්න කාලය ඇවිල්ලා. අපි ඒ වෙනුවෙන් සටන්කරමු!