කාවන්තිස්ස වැඩපිළිවෙල - 13 වැනි පරිච්ඡේදය
අද අපේ විශ්වවිද්‍යාල ඔක්කොම වගේ අයිති රජයට. ඒ කියන්නේ ඒවා ජනතාවට අයිතියි කියන එක ද? එහෙම හිතන එක වැරැදියි. මිනිස්සුන් ගේ බදුවලිනුයි ආණ්ඩුව ගන්න ණයවලිනුයි මේවා පවත්වාගෙන ගියාට මේ ආයතන ජනතාවට අයිතියි කියලා හිතන එක තමන්ව ම රවට්ටා ගැනීමක්. ඉතින් කරන්න පුළුවන් හොඳ ම වැඩේ තමයි මේ ආයතන විශාල ජන සහභාගීත්ව අයිතියකින් පවත්වාගෙන යෑමට ක්‍රමයක් සකස්කරන එක. මේ කියන්නේ මුදලාලිලා දෙන්නෙක්, තුන්දෙනෙක් අතට මේවා පවරලා දෙන එක නම් නෙවෙයි. පුළුවන් තරම් විශාල පිරිසකට මේවා ගේ අයිතිය භාරදෙන්න පුළුවන්.
එහෙම කරන්නේ කොහොම ද? ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මොකද ලාභ ලබන ආයතනයක පාර්ශ්වීය හිමිකාරයෙක් වෙන්න අකමැති කෙනෙක් නැහැනේ. ඒ විදිහට හිමිකාරකමක් ලබාදෙන්න පුළුවන් මුදලකට. ඉතින් විශ්වවිද්‍යාලවල කොටස් හිමිකම වෙළෙඳපොලේ විකුණන්න පුළුවන්. වැඩි පිරිසකට අයිතිය පවරන්න ඕන හින්දා එක් අයකුට මිළදීගන්න පුළුවන් කොටස් ගණන (ප්‍රතිශතය) නීතියෙන් සීමාකරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ කොටස් විකිණිල්ලේ දී මිළදීගැනීමේ ප්‍රමුඛතාව ලැබෙන්න ඕන ඒ ක්‍ෂේත්‍රය ගැන දැනුමක් තියෙන අයට. උදාහරණයක් විදිහට කියනවා නම්, වෛද්‍ය විද්‍යාලවල කොටස් හිමිකරගැනීමේ ප්‍රමුඛතාව හිමිවෙන්න ඕන රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට. වෛද්‍යවරු කියලා කියන්නේ තරමක මුදල් හයියක් තියෙන පිරිසක් හින්දා ඒ අයට මේ වැඩේ වෙනුවෙන් මුදලක් ආයෝජනයක් කරන එක අමාරු වැඩකුත් නෙවෙයි.
එහෙම වුනා ම වෛද්‍ය විද්‍යාල වෘත්තීය සුදුසුකම තියෙන අය ගේ අධීක්‍ෂණය යටතේ පාලනය වන ආයතනයක් බවට පත්වෙනවා. ඉතින් ඒ විදිහට පාලනය වෙන ආයතනයකින් බිහිවෙන වෛද්‍යවරු නුසුදුස්සන් කියලා කියන්න, නිසි පුහුණුවක් නැති අය කියලා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ.
එහෙම කළා ම නිදහස් අධ්‍යාපනයට මොකද වෙන්නේ කියලා කාට හරි අහන්න පුළුවන්. අපි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ මොකට ද? විශ්වවිද්‍යාල සැළකුවොත් නිදහස් අධ්‍යාපනය කියන එකෙන් කියැවෙන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩි සුදුසුකම් ලබාගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් ප්‍රමාණයකට නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාවක් ආණ්ඩුවේ වියදමින් ලබාදෙන එකටනේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව වියදම්කරනවා. ඉතින් ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල පොදු අයිතිය තියෙන සමාගමකට විකුණුවාම ඒ අවස්ථාව නැතිවෙන්න පුළුවන් කියලා කාට හරි කියන්න පුළුවන්. එහෙම වෙන්නේ නෑ. ආණ්ඩුවට පුළුවන් දැනට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණයටත් වැඩි ගණනකට ඒ අවස්ථාව ලබාදෙන්න.
ඒ කොහොම ද?
ඒක මහ වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් කරන්න ඕන දැනට අවුරුද්දකට වෛද්‍ය විද්‍යාලවලට බඳවාගන්නේ ශිෂ්‍යයන් 2000 ක් නම්, ඒ විදිහට ම ඒ අය ව තෝරගෙන ඒ ඒ ශිෂ්‍යයා ගේ අධ්‍යාපනික වියදම ශිෂ්‍යත්වයක ආකාරයෙන් අර විදිහට පිහිටුවන පොදු සමාගමට ලබාදෙන එක. වෛද්‍ය උපාධි පාඨමාලාවක් වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව කීය ද කියන එකත් ආණ්ඩුවේ නියාමනය යටතේ ම තීරණයකරන්න පුළුවන්. මේ ක්‍රමය අනුගමනය කරද්දී ආණ්ඩුව වියදම්කරන්න ඕන ශිෂ්‍යයන් ගේ ශිෂ්‍යත්ව වෙනුවෙන් විතරයි. ගුරුවරුන් ගේ පඩි ගෙවන්න, ගොඩනැගිලි ආදිය පවත්වාගෙන යන්න, පරිපාලන වියදම් දරන්න වෙන්නේ මේ පොදු සමාගමට. ඉතින් මේ විදිහේ අමතර වියදම් අඩුවෙන හින්දා ආණ්ඩුවට පුළුවන් රජයේ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට සළස්වන ප්‍රමාණය වැඩිකරන්න. ඒ කියන්නේ, දැන් බඳවාගන්නේ 2000 ක් නම් ඒක 3000 ක් දක්වා වැඩිකරන්න.
ඒත් මේ වැඩේට සමාගමක්, සමාගමක් කියලා කිව්වා හරි කැතයිනේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕන හොඳ නමක් දාගන්න එකනේ. මේකට කියන්න පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය කියලා. එහෙමත් නැතිනම් ඊටත් වඩා ගරු ගාම්භීර නමක් හොයාගන්න පුළුවන්.
දැනට තියෙන වෛද්‍ය පීඨ මේ විදිහට ඇතිකරන ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ පීඨ බවට පත්කරන්න පුළුවන්. අදාළ ගොඩනැගිලි මේ වැඩේට පාවිච්චි කරන එක වෙනුවෙන් ඒවා පිහිටුවලා තියෙන විශ්වවිද්‍යාලවලට කුලියක් ගෙවන්නත් පුළුවන්. ඉතින් ඒක ඒ විශ්වවිද්‍යාලවලට ආදායමක්. එහෙම ආදායමක් ලැබෙන එක රජයටත් හොඳයි. රජයට බදු ගෙවන ජනතාවටත් හොඳයි.
මේ විදිහට කළා ම ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය කියන්නේ රට වටේ ම පීඨ තියෙන පොදු ආයතනයක් බවට පත්වෙනවා. තියෙන සම්පත් සාධාරණ විදිහට බෙදා හදාගන්නත් පුළුවන්. දැන් සමහර වෛද්‍ය පීඨවල මහාචාර්යවරු ඉන්නවා. ඒත් ඒ අයට ප්‍රමාණවත් තරම් ශිෂ්‍යයෝ නෑ. සමහර වෛද්‍ය පීඨවල ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ගුරුවරු නෑ. ඉතින් මේ ඔක්කොම එක අයතනයක පිරිස් බවට පත්වුනා ම සම්පත් බෙදාගැනිල්ල හරි ම පහසුවෙන් කරන්න පුළුවන්නේ.
අදාළ කාල සීමාවේ ඉගෙනගන්න දේට ගැලපෙන විදිහට ශිෂ්‍යයන්ටත් පුළුවන්නේ පීඨයෙන් පීඨයට යන්න. රට වටේ ම ඉන්න එක ම විෂයය ඉගෙනගන්න අයට ඒකට අදාළ පොදු පංතිවලට සහභාගීවෙන්න පුළුවන්. සමහර පාඨමාලා පැවැත්වෙන්නේ කොළඹ. තවත් සමහර පාඨමාලා පැවැත්වෙන්නේ පිට පළාත්වල. ප්‍රායෝගික පුහුණුවීම්වලට, සායනික පුහුණුවීම්වලට අදාළ පහසුකම් වුනත් බෙදා හදාගන්න පුළුවන්නේ. මේක තැනකින් තැනකට යන්න බැරි තරම් විශාල රටකුත් නෙවෙයිනේ.
මේ කියන්නේ වෛද්‍ය අධ්‍යාපනය විකුණන්න කියලා කියන එක නේ ද කියලා කාට හරි චෝදනාකරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ භාණ්ඩයක් විදිහට වෙළෙඳපොලේ විකුණන්න බැරි දෙයක් කියලත් ඒ අය කියාවි.
ඒත් ලෝකේ පුරා ම තියෙන අනෙක් රටවල්වල තියෙන වෛද්‍ය විද්‍යාල ගැන හොයලා බැලුවොත් පෙනෙයි නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතන තියෙන්නේ කීයෙන් කීය ද කියලා. ඒ විදිහට ගෙවලා ඉගෙනගන්න පුළුවන් හින්දානේ අපේ අය ඒ රටවල්වලට ගිහිල්ලා සල්ලි ගෙවලා ඉගෙනගෙන එන්නේ. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, රුසියාව වගේ රටවල ඉන්නේ කිසිම සුදුසුකමක් නැති වෛද්‍යවරු කියලා අපිට කියන්න බැහැනේ. ඒ රටවල්වල ඉන්න වෛද්‍යවරුන්ගෙන් අතිමහත් බහුකරයක් මුදල් ගෙවලා ඉගෙනගත්ත අය.
උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලබාගන්න අය ගේ වියදම් දරන එක ආණ්ඩුවට කරන්න පුළුවන්. ආණ්ඩුවට විතරක් නෙවෙයි. වෙනත් පුණ්‍ය ආයතනවලට වුනත් ශිෂ්‍යත්ව අරමුදල් ඇතිකරලා තව තවත් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන්. තමන්ට කියලා ප්‍රමාණවත් මුදලක් නැති පිරිසකට බැංකු ණය ගන්න ක්‍රමයකුත් හදලා දෙන්න පුළුවන්.
එතකොට ඕනෑ ම කෙනෙක්ට මුදල් ගෙවලා ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න පුළුවන් ද කියලා කාට හරි අහන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොම ද? මුදල් ගෙවලා ඉගෙනගන්න බලාපොරොත්තු වෙන අයගෙන් අයැදුම්පත් කැඳවන එකනේ මුලින් ම කරන්න ඕන. ඒ විදිහට අයැදුම්පතක් යොමුකරන්න තියෙන්න ඕන මූලික ම සුදුසුකම තමයි උසස් පෙළ විභාගයට අදාළ විෂයයන්ගෙන් පෙනී ඉඳලා සමත්වෙන එක. අසමත් වෙච්ච අයට එහෙම ඉඩක් දෙන්න විදිහක් නැහැනේ. අයැදුම්පත් ලැබුණාට පස්සේ වැඩි ම ලකුණු ගත්ත පිරිස තෝරාගන්න පුළුවන්. ඒ විදිහට තෝරාගත්ත කඩයිම් ලකුණු මොනවා ද කියලා ප්‍රසිද්ධ කරන්නත් පුළුවන්. එතකොට කාට කාටත් පැහැදිළියි මොකක්ද වෙන්නේ කියන එක.
මේ විදිහට වැඩ කළා ම පටිපාටිය හරි ම පැහැදිළියි. ලකුණු වැඩියෙන් ගත්ත යම් ප්‍රමාණයකට (උදා: 3000 කට) ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙනවා. ඒ වැඩේ දී දැන් කරන විදිහට ම ඉසෙඩ් ලකුණු, දිස්ත්‍රික් කඩයිම් යොදාගන්න පුළුවන්. ආණ්ඩුවේ ශිෂ්‍යත්ව දිනාගන්න බැරිවෙච්ච අය අතර ඉන්න ඉහළ ම සුදුසුකම් ලබාගත්ත පිරිසකට මුදල් ගෙවලා ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින්, ඒ සාමාර්ථ තුනකුත් තියෙද්දී, සල්ලි ගෙවලාවත් ඉගෙනගන්න බැරිවුනා කියලා කියන්න ඕන වෙන්නේ නෑ.
මේ වගේ ක්‍රමයක් ස්ලිට්, එන්-අයි-බී-එම් වගේ ආයතනවලටත් හඳුන්වලා දෙන්න පුළුවන්. දැනට ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල පවත්වගෙන යන පරිගණක, කළමනාකරණ පීඨ පවා ඒ විදිහට පිහිටුවන පොදු මහජන සමාගම්වලින් පාලනය වෙන ආයතනවල පීඨ බවට පත්කරන්න පුළුවන්. ඒවාට මුදල් ආයෝජන භාරගනිද්දි ප්‍රමුඛතාව දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල කෙළ පැමිණි අයට. ආණ්ඩුව කරන්න ඕන අදාළ ආයතනවලට ඇතුළුවෙන්න සුදුසුකම් තියෙන ශිෂ්‍යයන් ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබාදීලා, අදාළ ආයතන හොඳින් පාලනය වෙනවා ද කියලා නියාමනය කරන එක විතරයි.