කාවන්තිස්ස වැඩපිළිවෙල - 12 වැනි පරිච්ඡේදය
බයිබලයේ මතෙව් 22: 15 - 22 කියන කොටස්වල මෙහෙම කතාවක් තියෙනවා. පරිසිවරුන්ට උවමනා වුනා යේසුස්වහන්සේ ලවා රාජද්‍රෝහී කතාවක් කියවලා උන්වහන්සේ ව කරදරයකට පත්කරන්න. ඉතින් ඒ අය තමන් ගේ ගෝලයන්වත් හෙරෝද්ට පක්‍ෂ ව සිටි අයවත් යේසුස්වහන්සේ ළඟට යවලා සීසර්ට බදු ගෙවන්න ඕන ද නැති ද කියලා උන්වහන්සේගෙන් ඇහුවා. යේසුස්වහන්සේ ඒ අය ගේ දුෂ්ට චේතනාව තේරුම් ඇරගෙන බදු ගෙවන්න පාවිච්චිකරන කාසියක් තමන්ට දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලුවා. ඒ අය කාසියක් දුන්නා ම ඒක පෙන්නලා ඒ කාසියේ තියෙන රූපයත් නමත් කාගෙද කියලා ඒ අයගෙන් ඇහුවා. ඒ රූපයත් නමත් සීසර් ගේ කියලා ඒ අය යේසුස්වහන්සේට උත්තර දුන්නා. "එහෙම නම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න, දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න" කියලා උන්වහන්සේ වදාළා.
මේක බොහොම ප්‍රසිද්ධ කතාවක්. ආගමත් ආණ්ඩුවත් එකිනෙකින් වෙන්වෙලා කටයුතු කළ යුතුයි කියන අදහස සමහර බටහිර රටවල්වල අය ඉස්මතුකළේ මේ කතාව ඉස්සරහට දාලා. ඉතින් දැන් ඒ රටවල ආගමත් ආණ්ඩුවත් එකිනෙකින් වෙන්කරලා තියෙන්නේ කියලා අපේ සමහර අය කියනවා. ඒ අය එහෙම කිව්වාට මේ වැඩේ ගැන ඒ රටවල්වල අය ඒ තරම් වදවෙන්නේ නෑ. උදාහරණයක් විදිහට අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ පාලන ක්‍රමය හඳුන්වලා දීපු එංගලන්තයේ වැඩපිළිවෙල සළකන්න පුළුවන්. ඒ රටේ රාජ්‍ය ආගම විදිහට සැළැකෙන්නේ එංගලන්ත සභා ක්‍රිස්තියානි ආගම. මේ ආගමේ උත්තරීතර නායකයා විදිහට සැළැකෙන්නේ එංගලන්තයේ මහා රාජිනිය. පල්ලියේ නායකයෝ පත්කරන්නෙත් මේ මහා රාජිනිය. ඒ වැඩේට ඕන කරන උපදෙස් මහා රාජිනියට ලබාදෙන්නේ අගමැති. අගමැතිට ඕන උපදෙස් ලබාදෙන්නේ පල්ලියේ නායකයෝ. එංගලන්තයේ ඔටුන්න දරන්න පුළුවන් මේ ආගමට අයිති කෙනෙක්ට විතරයි. ඉතින් මේ විදිහට තමන් ගේ ආගම රැකගෙන පවත්වාගෙන ක්‍රමයක් එංගලන්තයේ අය සකස් කරගෙන තියෙනවා. ඊට අමතර ව, එක්සත් රාජධානියේත්, එංගලන්තයේ කිරීටයට අවනත රටවල්වලත් “දෙවියනි, රැජින රැකදේවා” කියා ජාතික ගීය ගායනා කරන බව අපි දන්නවා.
යුරෝපයේ තියෙන හැම ක්‍රිස්තියානි රටක ම ජාතික කොඩියට කුරුසයක් ඇතුළත් කරලා තියෙනවා. කතෝලික රටවල්වල ජාතික කොඩිවල නම් එහෙම කුරුස දකින්න නෑ. ඒත් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ රටවලුත් ආගම අමතක කරලා පාලනය කරනවා කියලා කියන්න බෑ. අවුරුදු 12 කටත් වැඩි කාලයක් ජර්මනියේ ආණ්ඩු කරවන ඇන්ජෙලා මර්කල් කියන්නේ එක්සත් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායිකාව. මේ පක්‍ෂය එක්සත් කියලා නම් කරලා තියෙන්නේ කතෝලික සහ ප්‍රොතෙස්තන්ත්‍ර ආගම් දෙක ම එකතුකරන අරමුණක් ඇතිව ඒක ආරම්භ කරපු හින්දා.
ඇමෙරිකානු ජනපද සංගමය පිහිටුවලා අවුරුදු 6 ක් ඇතුළත - ඒ කියන්නේ 1782 දී, සම්මත කරගත්ත රටේ නිල ආදර්ශ පාඨය ආගමික එකක් නෙවෙයි. “ඊ ප්ලුරිබස් යුනම්” කියන ඒ ලතින් පාඨයෙන් කියැවුනේ “විවිධත්වය තුළින් එකක්” කියන අදහස. ඒත් මේ පාඨය “ඉන් ගෝඩ් වී ට්‍රස්ට්” කියලා වෙනස්කරන්න 1956 දී ඒ අය කටයුතු කළා. ආගම මුළුමනින් ම පැත්තක තියලා පාලනය කරන රටවල් විදිහට දැනට තියෙන්නේ චීනයත් වියට්නාමයත් උතුරු කොරියාවත් විතරයි කියලා කියන්නත් පුළුවන්. කොමියුනිස්ට් කතා කිය කියා රටවල් පාලනය කරන මේ ආණ්ඩුවලට නිල වශයෙන් ආගමක් පිළිගැනීමේ හැකියාවක් නෑ. ඉතින් මේ රටවල් තුනේ ආණ්ඩු ආගම් පිළිගැනීමෙන් ඈත්වෙලා ඉන්නවා.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා ප්‍රතිඥා දීලා තමයි අපේ ආණ්ඩුව මේ රට කරවන්නේ. ථෙරවාදී බුද්ධාගමේ මූලස්ථානය විදිහට සැළැකෙන රටක ඒ වගකීම භාරගන්නේ නැතිව ඉන්නේ කොහොම ද? 1815 උඩරට ගිවිසුමෙන් මේ වගකීම භාරගන්න එංගලන්ත ආක්‍රමණිකයන්ටත් සිද්දවුනා. 1818 නොවැම්බර් 21 වැනි දා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා නිකුත් කළ ආඥාවෙන් උඩරට ගිවිසුම ඒකපාර්ශ්වික ව අවසන් කළත් බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම අත් හැරියේ නෑ. 1818 දී බ්‍රවුන්රිග් නිකුත්කරපු ආඥාවෙනුත් 1832 අප්‍රෙල් 12 වැනි දා නිකුත් කළ ආඥාවකිනුත් 1892 අවුරුද්දේ නිකුත්කරපු ආඥාවකිනුත් ඒ බව තහවුරු කරලා තියෙනවා. 1815 ඉඳලා අවුරුදු 157 ක් ම නිල වශයෙන් එංගලන්ත කිරීටයට පවරලා දීලා තිබුණු අපේ රටේ පරමාධිපත්‍යය ආපහු අපිට ලැබුණේ 1972 දී. ඉතින් බුද්ධ ශාසනය සුරක්‍ෂිතකරනවා කියලා එංගලන්ත කිරීටය භාරගෙන තිබුණු වගකීම ආපහු අපට පවරාගෙන 1972 ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරපු අය කටයුතු කළා. පස්සේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයාත් ඒ වගකීම ඒ විදිහට ම එතුමා හදපු ව්‍යවස්ථාවටත් ඇතුළත් කළා.
බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරලා පෝෂණය කරන්න අපේ ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් ම බැඳිලා හිටියත් මේ වැඩේ කරන්නේ මිනිස්සු. ඒ ඒ විහාරස්ථානවල දායක සභාවල අය නැති නම් මේ වෙද්දි අපේ බුද්ධ ශාසනයත් දුම්රිය දෙපාර්තමේන්තුව වගේ බංකොලොත් වෙලා ඉවරයි. මොකද මේ ආරක්‍ෂාව ලබාදීමේ වගකීම නාමික ව පවරගෙන හිටියාට ඒ වෙනුවෙන් ප්‍රායෝගික ව යමක් කරන්න අපේ ආණ්ඩු අසමත්වෙලා තියෙනවා. පස් කන්දක් විදිහට ශේෂ වෙලා තිබුණු රුවන්වැලි මහා සෑය පුතිසංස්කරණය කළේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ගේ නායකත්වය යටතේ එකතුවුනු සාමාන්‍ය ජනතාව. ඒ වැඩේට නායකත්වය දීලා සාර්ථක ව ඒ වැඩේ සම්පූර්ණ කරපු එතුමා වයස අවුරුදු 37 ක් වෙද්දි දිවංගතවුනා. ඒත් අපේ ආණ්ඩු දැන් අවුරුදු හැට හැත්තෑවකට වඩා දඟලනවා අභයගිරි, ජේතවන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරගන්න බැරි ව. ඒ විතරක් නෙවෙයි අපි හැමෝ ම දන්නවා ආණ්ඩුව මැදිහත්වෙලා මිරිසවැටිය මහා සෑයට කරපු අපරාධය.
මේ කාරණා සළකලා බැලුවා ම අපිට පේනවා බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව හා පෝෂණය වෙනුවෙන් අපේ ආණ්ඩුවලට කරන්න පුළුවන්වෙලා තියෙන්නේ ඉතාමත් සීමිත කාර්යභාරයක් කියලා. හැබැයි මේ කියන්නේ ව්‍යවස්ථාවෙන් පැවැරිචිච වගකීමෙන් ආණ්ඩුවට ඈත්වෙන්න ඕන කියන එක නම් නෙවෙයි. මේ කියන්න හදන්නේ වෙන කතාවක්. නීතියෙන් පවරලා තියෙන වගකීම වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක් ම කරන්න කියලා ආණ්ඩුවට කියන ගමන් ම මේ වැඩේ හරියට කරන්න ඕන ශක්තිය තමන්ට ලබාගැනීමේ වැඩපිළිවෙලකට අපේ මිනිස්සු යොමුවෙන්න ඕන.
අද අපේ මිනිස්සුන් ගේ ආර්ථික ශක්තිය හීනවෙලා. අතට මුදලක් ලැබුණත් ඒක ආයෝජනය කරගන්න විදිහක් අපි දන්නේ නෑ. අපේ සිංහල මිනිස්සු වැඩි ප්‍රමාණයක් වෙළෙඳාමට දක්‍ෂ නෑ. කවුරු හරි සිංහලයෙක් මොකක් හරි වෙළෙඳාමක් පටන්ගත්තොත් ඒකට හවුල්වෙන අය බඩ පළලා බිත්තර හොයන වැඩේට යොමුවෙනවා. ඉතින් ඒ ව්‍යාපාරය අවසන් ගමන් යන්නේ කාටවත් සෙතක් නැති ව. ඊට අමතර ව, ගමේ සමූපකාරය කරන වැඩේ පවා ආණ්ඩුව භාරගෙන ඉන්නේ. මිනිස්සුන්ට කරන්න පුළුවන් මේ වගේ සුළු වැඩ පවා ආණ්ඩුව බදාගෙන. ඒවා කාර්යක්‍ෂම විදිහට කරගන්නත් ආණ්ඩුවට බෑ. ගංවතුර වෙලාවේ රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වෙච්ච විදිහ අපි හැමෝ ම දැක්කා. එක පැත්තකින් මේ මහ විශාල රාජ්‍ය තන්ත්‍රය අකාර්යක්‍ෂමයි. අනික් පැත්තෙන් ඒක දූෂණ, අක්‍රමිකතාවලට ඉඩ සළසන එකක් බවටත් පත්වෙලා. දූෂණ වැඩ කරන්නේ දේශපාලනඥයෝ විතරක් නෙවෙයි. මේ වගේ මහා යාන්ත්‍රණයක වැඩට යොදවලා ඉන්න සුළු නිලධාරියෙක් රුපියල් දහයක් වැරැදි විදිහට පාවිච්චි කළත් එකතුවුනා ම සිද්දවෙන නාස්තිය ගැන හිතාගන්න අපිට පුළුවන් වෙන්න ඕන.
ඉතින් මිනිස්සු ශක්තිමත් කරන උපක්‍රමයක් විදිහටත් ආණ්ඩුව පවරගෙන ඉන්න මේ වගේ වැඩ මිනිස්සුන්ට ලබාදෙන ක්‍රමයක් ඇතිකරන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ආණ්ඩුවේ වගකීම් මුදලාලිලා දෙතුන් දෙනෙක්ට පවරන්න කියන එක නම් නෙවෙයි. මේ කාරණය මේ ලේඛකයා කීප වතාවක් ම කියලා තියෙනවා. අපේ සංස්කෘතිය ඇතුළේ මහා ධන කුවේරයන්ට ඉඩක් නෑ. ඉංග්‍රීසි යටත්විජිත කාලයේත් ඊට පස්සේ ගතවෙච්ච අවුරුදු කිහිපයේත් ඇරුණ ම මහා ඉඩම් හිමියෝ (ලෑන්ඩ් ලෝඩ්ලා) කියලා ජාතියක් අපේ රටේ කවදාවත් ඉඳලා නෑ. ඒ හින්දා මේ සංස්කෘතික අවශ්‍යතාව තේරුම් ඇරගෙන ඒකට ගැලපෙන විදිහේ ව්‍යාපාර ආකෘති හදලා දෙන වැඩේ අපි කරන්න ඕන. ආණ්ඩුව පවරාගෙන ඉන්න ඇතැම් වැඩ ඒ විදිහට හදන සාමූහික ව්‍යාපාරවලට පවරන්න පුළුවන්.
අදටත් අපේ රටේ පුද්ගලික බැංකු පාලනයවෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ට ඒවා අයිතිවෙන විදිහකට නෙවෙයි. බැංකුවක කොටස්වලින් එක පුද්ගලයකුට අයිති කරගන්න පුළුවන් ඉතා ම සීමිත ප්‍රමාණයක්. ඒක පාලනයකරන්න උවමනා නීති රීති හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේ ම, බැංකුවල කටයුතු අධීක්‍ෂණය කරන වැඩේ මහ බැංකුව කරගෙන යනවා. මේවා සම්බන්ධයෙන් අපි වදවෙන්නේ නෑ. ඉතින් පුද්ගලික බැංකු පවත්වාගෙන යන්න හදලා දීලා තියෙන මේ ක්‍රමය තවත් අංශවලට ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒ කියන්නේ නියමාකාර විදිහට නීතී රීති පනවලා අදාළ කටයුතු නියාමනය කරන්න විදිහකුත් ක්‍රමවත් ව හදලා තියෙනවා නම් ආණ්ඩුව පවරාගෙන ඉන්න යම් යම් ව්‍යාපාරික කටයුතු මහ ජනතාව ගේ හවුල් සමාගම්වලට පවරන්න බැරිකමක් නෑ.