සීහනාද අඩවිය

අනිච්ච සහ අනිච්ඡ වචනවල වෙනස

ත්‍රිපිටක පාලියෙහි සඳහන් “අනිච්ච” කියන වචනයේ අර්ථය “අනිත්‍ය” නොවන බවටත් එහි අර්ථය “කැමැති ලෙසින් ආශ්වාදයන් නොපැවැතීම” බවටත් අදහසක් තියෙනවා. මේ අදහස නිවැරැදි ද?


මේ අදහස නිවැරැදි නෑ. ඒත් මේ අදහස කියන අයට අප ගේ කෘතඥතාව හිමිවෙන්න ඕන. මොකද, ඒ අය හින්දා මේ ධර්ම කරුණු කතාකරන්න අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා.


මේ අදහස නිවැරැදි නෑ කියලා කියන්නේ ඇයි?


මේ කාරණය පැහැදිළි කරලා දෙන්න කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ත්‍රිපිටක පාලියෙනුත් සෑහෙන කරුණු ප්‍රමාණයක් කියන්න පුළුවන්. භාෂා රීති වුනත් පැහැදිළි කරලා දෙන්න පුළුවන්. මුලින් ම භාෂාවේ තියෙන රීති පැහැදිළි කරලා දෙන එක වටිනවා කියලා හිතෙනවා.


ඒ රීති මොනවා ද?


ත්‍රිපිටක පාලියේ “අනිච්ච” කියලාත් “අනිච්ඡ” කියලාත් වචන දෙකක් තියෙනවා. එකක් අවසන් වෙන්නේ අල්පප්‍රාණ “ච” අකුරෙන්. අනිත් එක අවසන් වෙන්නේ මහප්‍රාණ “ඡ” අකුරෙන්. “අනිච්ච” කියන වචනය තමයි “අනිත්‍ය” කියලා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. “අනිච්ඡ” කියන වචනය තමයි “ඉච්ඡා (තණ්හාව) රහිත බව” කියලා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. මේ දෙක දෙකක්.

“නිච්ච” සහ “නිච්ඡ” කියලා කියන්නේ “අනිච්ච” සහ “අනිච්ඡ” කියන වචනවල විරුද්ධ අර්ථ දෙන වචන නේ ද?


“නිච්ච” කියන්නේ “අනිච්ච” කියන වචනයේ විරුද්ධ අර්ථය දෙන වචනය බව ඇත්ත. හැබැයි “අනිච්ඡ” කියන වචනයේ විරුද්ධ අර්ථය ප්‍රකාශ කෙරෙන්නේ “නිච්ඡ” කියලා නෙවෙයි. “ඉච්ඡ” කියලා. “නිච්ඡ” කියලා කියන්නෙත් “අනිච්ඡ” අර්ථය ම ලබාදෙන වචනයක්. ඒ කියන්නේ, “නිච්ඡ” වචනයත් “අනිච්ඡ” වචනයත් අර්ථයෙන් සමානයි. විරුද්ධ නෑ. “ඉච්ඡ” කියන වචනය තමයි “අනිච්ඡ” කියන වචනයේත් “නිච්ඡ” කියන වචනයේත් විරුද්ධ අර්ථය දෙන වචනය.

එතකොට “ඉච්ඡ” කියලා කියන්නේ “ආශ්වාදයට ඇති කැමැත්ත”?

 

ඔව්. මේ “ඉච්ඡ” කියන වචනය ත්‍රිපිටක පාලියේ සෑහෙන්න යෙදිලා තියෙනවා. මොකද, “ආශ්වාදයට ඇති කැමැත්ත” කියලා කියන්නේ තෘෂ්ණාවට සම්බන්ධ කාරණයක්නේ. ඉතින් “තෘෂ්ණාව” කියන වචනය යෙදිලා තියෙනවා වගේ මේ “ඉච්ඡ” කියන වචනයත් නිතර නිතර ත්‍රිපිටක පාලියේ යෙදිලා තියෙනවා.

 

“නිච්ච” කියන වචනයේ විරුද්ධ අර්ථය දෙන වචනය “අනිච්ච” වෙද්දි “ඉච්ඡ” කියන වචනයේ විරුද්ධ අර්ථය දෙන වචනය “අනිච්ඡ” හරි “නිච්ඡ” හරි වෙන්නේ කොහොම ද? “නිච්ඡ” වචනයෙන් කොහොම ද “අනිච්ඡ” කියන වචනයේ අර්ථය ම ලැබෙන්නේ? “නිච්ච” කියන වචනයේ විරුද්ධ අර්ථය දෙන වචනය “අනිච්ච” වෙද්දි “ඉච්ඡ” කියන වචනයේ විරුද්ධ අර්ථය දෙන වචනය “අනිච්ඡ” නොවෙන්නේ කොහොම ද?

 

ඇත්තෙන් ම මේවාට විරුද්ධ අර්ථ දෙන වචන කියලා කියනවාට වඩා හොඳයි නඥර්ථය (ඒ කියන්නේ, නැත කියන අර්ථය) දෙන වචන කියලා කියන එක. මේකට අදාළ ඉතාමත් ම පැහැදිළි භාෂා රීතියක් පාලි භාෂාවේත් සිංහල භාෂාවේත් එක විදිහට ම තියෙනවා.

 

ඒ මොකක් ද?

 

අපි මුලින් ම “අනිච්ච” කියන වචනයත් “අනිච්ඡ” කියන වචනයත් සළකමු. මේ වචන හැදෙන්නේ අදාළ වචනවල මුලට “අ” සහ “අන්” අකුරු එකතුකිරීමෙන්. යම් වචනයක් ආරම්භවෙන්නේ ස්වරයකින් නම් ඒකට “අ” අකුර එකතුකරලා ඒ වචනයේ නඥර්ථය (නැත කියන අර්ථය) ලබාගන්න බෑ. මේ සාකච්ඡාවට අදාළ හොඳ ම උදාහරණය තමයි “ඉච්ඡ” කියන වචනය. මේ “ඉච්ඡ” කියන වචනය පටන්ගන්නේ ස්වරයකින්නේ. මේක මුලට “අ” අකුරක් එකතුකරන්න බෑ. මේ වගේ ස්වරයකින් පටන්ගන්න වචනවලට එකතුකරන්න පුළුවන් “අන්” කියන අකුරු. ඒ විදිහට තමයි “ඉච්ඡ” කියන වචනයේ නඥර්ථය “අනිච්ඡ” කියලා ලැබෙන්නේ.

 

එතකොට “අ” එකතුකරලා “නැත” අර්ථය දෙන්න පුළුවන් වචන මොනවා ද?

 

මේ සාකච්ඡාවට අදාළ හොඳ ම උදාහරණය තමයි “නිච්ච” කියන වචනය. මේ වචනයට “අ” අකුර එකතුකළා ම “අනිච්ච” කියන වචනය ලැබෙනවා.

 

සිංහල භාෂාවේත් මෙහෙම ම යි?

 

ඔව්. මේකට අදාළ උදාහරණ සෑහෙන්න තියෙනවා. නිත්‍ය, ස්ථිර, මිහිරි කියන වචන අනිත්‍ය, අස්ථිර, අමිහිරි කියන නඥර්ථ දෙන බවට පත්වෙන්නේ ඒ අකුරුවල මුලට “අ” අකුර එකතුකිරීමෙන්. නිත්‍ය, ස්ථිර, මිහිරි කියන වචන පටන්ගන්නේ ස්වර අකුරුවලින් නෙවෙයිනේ. පාලි භාෂාවේත් මේ විදිහට ම තමයි.

 

උදාහරණ කීපයක් කියනවා නම්?

 

නිච්ච, කතවෙදී, කම්ප කියන පාලි වචන තුන මේ සඳහා උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. කතවෙදී කියලා කියන්නේ “කළගුණ ප්‍රකට කරන්නා” කියන අර්ථය දෙන වචනයක්. කම්ප කියලා කියන්නේ “කම්පා වෙනවා” කියන අර්ථය ප්‍රකාශවෙන වචනයක්. නිච්ච කියන වචනය ගැන අපි දන්නවානේ. ඉතින් මේ වචන තුන මුලට “අ” අකුර එකතු කළාම, අනිච්ච, අකතවෙදී, අකම්ප කියන පාලි වචන තුන ලැබෙනවා. අනිච්ච කියන වචනයේ තේරුම අපි දන්නවා. අකතවේදී කියලා කියන්නේ “කළගුණ ප්‍රකට නොකරන්නා” කියන එක. “අකම්ප” කියලා කියන්නේ “කම්පා නොවෙන” කියන එක.

 

එතකොට “අන්” අකුරු එකතුකිරීම?

 

ආදර, ආයාස, ඉෂ්ට, ආකූල කියන වචන හතර ගැන හිතන්න. මේ වචන හතර ම ස්වරවලින් පටන්ගන්නේ. “අ” අකුර එකතුකරලා ඒ වචනවල නඥර්ථය දෙන වචන හදන්න බෑ. ඒ වචනවල නැති යන අර්ථය දෙන වචන හදන්න පුළුවන් වෙන්නේ “අන්” අකුරු එකතුකරලා. අනාදර, අනායාස, අනිෂ්ට, අනාකූල කියන වචන හැදෙන්නේ ඒ විදිහට ආදර, ආයාස, ඉෂ්ට, ආකූල කියන වචන මුලට “අන්” අකුරු එකතු කළ විටයි.

 

පාලි භාෂාවෙනුත් උදාහරණ කීපයක් කිව්වොත්?

 

හොඳ ම උදාහරණය තමයි “ඉච්ඡ” කියන වචනය. ඒ වචනය ස්වරයකින් පටන්ගන්න එකක්. ඒ වචනයේ නඥර්ථය ලැබෙන්නේ “අන්” අකුරු එකතු කිරීමෙන්. ඒ තමයි, “අනිච්ඡ”. තවත් උදාහරණ කියන්න පුළුවන්. අක්ඛාත, අග්ග, ඉට්ඨ කියන වචන ගැන හිතන්න. අක්ඛාත කියන්නේ “ප්‍රකාශ කළ” කියන අර්ථය දෙන වචනයක්. අග්ග කියන්නේ “අග”, “කොණ”, “මුදුන” කියන එක. ඉට්ඨ කියන්නේ “සිතට ප්‍රිය වූ” කියන අර්ථය දෙන වචනයක්. ඉතින් මේ වචන මුලට “අන්” අකුරු එකතු කරලා අනක්ඛාත, අනග්ග, අනිට්ඨ කියන වචන හදන්න පුළුවන්. එතකොට අනක්ඛාත කියලා කියන්නේ “නොකියන ලද” කියන එක. අනග්ග කියන්නේ “කෙළවරක් නැති” කියන එක. අනිට්ඨ කියලා කියන්නේ “ප්‍රිය නො වූ” කියන එක.

 

එතකොට “නිච්ඡ” කියන වචනය හැදෙන්නේ?

 

පාලි භාෂාවේ වචනයක නඥර්ථය හදාගන්න “න” අකුර එකතුකිරීමේ රීතියකුත් තියෙනවා. ඉතින් “ඉච්ඡ” කියන වචනයට “න” අකුර එකතුකරලා “නිච්ඡ” කියන වචනය හදාගන්න පුළුවන්. “අත්ථි” කියන වචනයට “න” අකුර එකතුකරලා “නත්ථි” කියන වචනය හදාගන්න පුළුවන්. ඒත් සිංහල භාෂාවේ “න” නිපාතයක් යෙදෙන්නේ නෑ. අපි සිංහල භාෂාවේ යොදාගන්නේ “නො” නිපාතය. නොමිටි, නොහොඳ වගේ වචන හැදිලා තියෙන්නේ ඒ විදිහට. නොමිනිස් වගේ වචන හදාගන්නෙත් ඒ විදිහට. නො සුදුසු, නො දුටු වගේ වචන යෙදෙන්නේ නුසුදුසු, නුදුටු කියන විදිහට. නො කර, නො බලා, නො සිතා වගේ ක්‍රියා පද එක්ක “නො” අකුර වෙන්කරලා යොදනවා. ඉතින් සිංහල භාෂාවේ රීති ඉගෙනගන්නා අපේ දරුවන්ටත් පාලි භාෂාවේ රීති ගැන ඉගෙනගන්නා අයටත් මේ මූලික භාෂා රීති පැහැදිළි ව කියලා දෙන්න ඕන.

 

“ඉච්ඡ” කියන වචනයේ නැත අර්ථය දෙන මේ “නිච්ඡ” වචනයත් “අනිච්ඡ” වචනයත් ත්‍රිපිටක පාලියේ එක විදිහට ම යෙදිලා තියෙනවා ද?

 

ඇත්තෙන් ම, මේ “නිච්ඡ” කියන වචනයත් “අනිච්ඡ” කියන වචනයත් ත්‍රිපිටක පාලියේ නිතර යෙදිලා නෑ. “ආශ්වාදයට ඇති කැමැත්ත” ගැන කියලා තියෙන්නේ දුරු කරගන්න ඕන දුර්ගුණයක් ගැන කියන අර්ථයෙන්. ඉතින් “ඉච්ඡ” කියන වචනය ත්‍රිපිටක පාලියේ නිතර යෙදිලා තියෙනවා. ඒත් “ආශ්වාදයට ඇති අකැමැත්ත” ගැන ඒ විදිහට නිතර නිතර කියන්න හේතුවක් නෑ. “තණ්හා” කියන වචනනයත් එහෙමමනේ. ඒ වචනය ත්‍රිපිටක පාලියේ නිරන්තරයෙන් ම යෙදිලා තියෙන බව පොඩි ළමයි පවා දන්නවා. ඒ වචනයේ නැත අර්ථය දෙන “නිත්තණ්හා” කියන වචනය යෙදිච්ච අවස්ථා ගණනාවකුත් තියෙනවා. ඒ වගේ ම, “නිච්ඡාත” කියන වචනය යොදාගත්ත අවස්ථාත් තියෙනවා. නිච්ඡාත කියලා කියන්නේ “තෘෂ්ණා රහිත”, “ආසා රහිත” කියන එක. ඒ වගේ ම “නිච්ඡන්ද” කියලා තව වචනයක් තියෙනවා. නිච්ඡන්ද කියලා කියන්නේ “ඡන්දය රහිත”, “කැමති නැති” කියන එක. “විනිශ්චය” කියන අර්ථයෙන් “නිච්ඡ” කියන වචනය යෙදුණු අවස්ථා තියෙනවා. නිච්ඡරණ කියලා වචනයක් තියෙනවා. ඒකේ තේරුම “නික්මීම,” “පිටවීම” කියන එක. “අනිච්ඡ” කියන වචනය විවිධාකාර විදිහට ත්‍රිපිටක පාලියේ යෙදුණු අවස්ථා තියෙනවා.

 

ඒ කොහොම ද?

 

අනිච්ඡ කියලා කියන්නේ “ආසා රහිත”, “තෘෂ්ණා නැති” තේරුම දෙන වචනයක් කියන එක අපි දැන් දන්නවානේ. ඒ වගේ ම, අනිච්ඡත්ත කියලා කියන්නේ “නො කැමති” කියන එකට. අනිච්ඡමාන කියලා කියන්නෙත් “නො කැමති” කියන එකට. අනිච්ඡිත කියලා කියන්නේ “අභිමත නොවූ”, “නොකැමැති” කියන එකට.

 

මේ වචනවලට අදාළ භාෂා රීති දැන් පැහැදිළියි. ඒත් එහෙම වෙච්ච පමණින් මේ වචනවල අර්ථය මෙන්න මේකයි කියලා තහවුරු කරන්න බැහැනේ?

 

ඒක ඇත්ත. මේ වචනවල අර්ථ හරියට ම තේරුම්ගන්න නම් අදාළ සූත්‍ර දේශනා සේවනය කරන්න ඕන. ඒ ඒ සූත්‍ර දේශනාවල සංදර්භයෙන් ම මේ වචනවල අර්ථ වටහාගන්න පුළුවන්. ඒක හැබැයි තරමක් දීර්ඝ කටයුත්තක්. එක එක වචනයට අදාළ සූත්‍ර දේශනා සෑහෙන ප්‍රමාණයක් ඇසුරු කරන්න පුළුවන් නම් මේ වචනවල අර්ථ බොහොම පහසුවෙන් වටහාගන්න පුළුවන්.

 

උදාහරණයක් කියනවා නම්?

 

උදාහරණයක් විදිහට “ඉච්ඡ” කියන වචනය යෙදිලා තියෙන සූත්‍ර පාඨ ගැන අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක වෙනුවෙන් ම තවත් ධර්ම සාකච්ඡාවක් පවත්වන්න වෙනවා. අපි ඒ ගැන ඉදිරියේ දී කතාකරමු.

Desktop Site