කාවන්තිස්ස වැඩපිළිවෙල - 3 වැනි පරිච්ඡේදය
බෞද්ධයෝ බුද්ධ ප්‍රතිමා නෙලන්න පටන්ගත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු හාර පන්සීයක් විතර ගතවුනාට පස්සේ. යවන (ග්‍රීක) බලයට යටත්වෙලා තිබුණු ඝාන්ධාරයේත් ඒ ආභාෂය ලැබුණු මථුරාවේත් තමයි මුලින් ම බුද්ධ රූප නෙළීම ආරම්භ වුනා කියලා කියන්නේ. හැබැයි මේ විදිහට බුද්ධ ප්‍රතිමා නෙළන්න කලිනුත් ඊට පස්සෙත් බුදුන්වහන්සේ නිරූපණය කරන්න විවිධ සංකේත භාවිතාකරන්න බෞද්ධයෝ පුරුදුවෙලා හිටියා. ඉතින් ධර්ම චක්‍රයත් බෝධි වෘක්‍ෂයත් සිරි පතුලත් වජ්‍රාසනයත් පාත්‍රයත් සිංහ රූපයත් තමයි ඒවා අතරින් වඩාත් ම ප්‍රචලිත වෙලා තිබුණේ. මේ සංකේත අතර තියෙන සිංහ රූපය ගැන යමක් කියන්න ඕන.
සාම්ප්‍රදායික ව සිංහයාගෙන් සංකේතවත් කෙරෙන්නේ රාජකීයත්වයත් ශක්තියත් බලයත්. බුද්ධ දේශනාව බොහෝ විට සීහනාදයක් විදිහට හඳුන්වලා තියෙනවා. මහා සීහනාද සූත්‍රය, චූල සීහනාද සූත්‍රය, චක්කවත්ති සීහනාද සූත්‍රය, කස්සප සීහනාද සූත්‍රය, උදුම්බරික සීහනාද සූත්‍රය වගේ සූත්‍ර ගැන අපි හැමෝ ම වගේ අහලා තියෙනවා. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වර්ගයක් ම තියෙනවා. බුද්ධ දේශනාවේ ශක්තිය හා බලය මේ නම්වලින් නිරූපණය කළා වෙන්න පුළුවන්. සාරානාත්වල අශෝක ස්ථම්භය මුදුනේ නෙලපු සිංහ රූප හතර තියෙන්නේ ධර්මචක්‍ර හතරටත් උඩින්. ධර්මචක්‍ර හතරත් ඒ මත නෙලා ඇති සිංහ රූප හතරත් පිහිටුවා ඇත්තේ පද්මාසනයක් මත්තේ. ධර්මචක්‍රයටත් උඩින් ඉන්න පුළුවන් සිංහයා කවුද? බුද්ධ රූපත් බෝධිසත්ව ප්‍රතිමාත් විතරයි බෞද්ධයන් විසින් පද්මාසනයක් මත නිර්මාණය කරන්නේ. ඉතින් සාරානාත්වල නිර්මාණය කරලා තියෙන මේ සිංහ රූප හතරින් සංකේතවත් වෙන්නේ ලෝකයේ සිව් දෙසට ම ඇහෙන විදිහට අප මහා බුදුරජාණන්වහන්සේ ධම්මචක්කප්පවත්ත සූත්‍රය දේශනා කොට වදාළ ආකාරය බවට සැකයක් නෑ ඉන්දියාව කියලා හදලා තියෙන රටේ රාජ්‍ය සංකේතය විදිහට 1950 අවුරුද්දේ ඉඳලා ම භාවිතා කෙරෙන්නේ මේ සාරානාත් සිංහ සංකේතය.
සිංහයා කියන්නේ ශාක්‍ය වංශයේ සංකේතය. විඩූඪහ රජ්ජුරුවෝ ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න පටන්ගත්තට පස්සේ ඒ අනතුරින් ගැලැවුණු අය විවිධ ප්‍රදේශවලට පලායන්න පටන්ගත්තා. ඒ විදිහට බේරුණු අයගෙන් සෑහෙන පිරිසක් අපේ රටටත් ආවා. තවත් පිරිසක් කාලිංගය වගේ ප්‍රදේශවල රැඳුණා. කැලෑ වැදිච්ච අයත් ඉන්න ඇති. ඉතින් සිංහබාහු කතාවෙන් කියැවෙන්නේ මේ විදිහට පලායන ශාක්‍යයෝ වංග (බෙංගාල) ජාතිකයෝත් එක්ක ඇතිකරගත්ත සහසම්බන්ධකම් වෙන්න පුළුවන්.
අපේ ජාතිය ඇරඹෙන්නේ සිංහයකුගෙන් කියලා අපි කියනවා. අපේ ජාතික කොඩියටත් සිංහ රූපය ඇතුළුවෙලා. නිකම් ම නිකම් සිංහ රූපයකුත් නෙවෙයි. අපිට ඉන්නේ කඩුවක් අතින් ගත්ත සිංහයෙක්. මොකක්ද මේ කඩුව?
අත් පා බැඳලා දාලා ඉන්න කෙනෙකුට ඒකෙන් නිදහසක් වෙන්න පුළුවන් ඒ විදිහට බැන්ද රැහැන් කපලා දාන්න පුළුවන් නම් විතරයි. බුද්ධාගමෙන් කියන විදිහට අපේ මනසත් විවිධ බැමිවලින් වෙලිලා තියෙන්නේ. අපි සංසාරයේ දුක් විඳින්නේ මේ බැමි හින්දා. ඉතින් මේ බැමි කපාදාන්න පුළුවන් නම් විතරයි අපිට අපි පතන උතුම් වූ නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේ බැමි කපන්න පුළුවන්වෙන්නේ ප්‍රඥාව නමැති කඩුවෙන්. කඩුව කියන්නේ ප්‍රඥාවේ සංකේතය. ඒකත් බෞද්ධයන් ගේ සංකේතයක්. උදාහරණයක් විදිහට කියනවා නම් ප්‍රඥාවට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්වහන්සේට වඳින පුදින බෞද්ධයෝ උන්වහන්සේ අතටත් කඩුවක් දීලා තියෙනවා. ඒකෙන් නිරූපණය වෙන්නේ උන්වහන්සේ ගේ ප්‍රඥාව.
අපේ ජාතියේ සංකේතය කඩුවක් අතින් ගත්ත සිංහයෙක්. සිංහයාගෙන් නිරූපණය වෙන්නේ කවුද කියන එකත් කඩුවෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද කියන එකත් දැන් අපි දන්නවා. ගේබ්රියල් ගාර්සියා මාකේස් ගේ නිර්මාණවල, ෆ්‍රාන්ස් කෆ්කා ගේ නිර්මාණවල සංකේත කියවන අපේ සමහර අය සිංහ කොඩියේ ඉන්න සිංහයාව දකින්නේ තිරිසනෙක් විදිහට විතරයි. ඉතින් “තිරිසනෙක් ඉන්න එක ම ජාතික කොඩිය තියෙන්නේ අපේ රටේ” වගේ කතා කියන අය අපි අතර ම ඉන්නවා. අපේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක ගේ ප්‍රඥාව මොටවෙලා.
අහල පහළ සමහර ගෙවල්වල පරණ මොට්ටවෙච්ච කඩු තියෙනවා මේ ලේඛකයා දැකලා තියෙනවා. ඒ ඔහු කුඩා කාලයේ. ඒ කාලේ ඒ ගෙවල්වල හිටපු කොල්ලෝ ඒවා පාවිච්චි කළේ මාළු කොටන්න. මහ වැස්සට පඬුවස්නුවර පැත්තේ තැනිතලා බිම් යන්තමින් වතුරට යටවෙනවා. සාමාන්‍යයෙන් පොළොව මට්ටමෙන් අඟලක් දෙකක් උඩට වතුර රැඳෙනවා. ඒ වෙලාවට වැව්වල ඉන්න මාළු අඩි පාරවල් දිගේ උඩ අතට පීනාගෙන යනවා. ඉතින් ඒ අඩිපාරවල් අයිනේ මොට්ට කඩු තියාගෙන රැකගෙන ඉන්න කොල්ලෝ මාළු කොටනවා.
දැන් අපේ කට්ටියත් ඒ වගේ වැඩ තමයි කරන්නේ. මොකක් හරි වැස්සක් වහිනවා දැක්ක ගමන් ම මොට්ට වෙච්ච කඩු උස්සගෙන පාරට බහිනවා. කල්ප අවසානයේ වහින මුරුගසන් වරුසාවට තෙමිච්ච එවුන් වගේ අහුවෙච්ච අහුවෙච්ච එකාට කොටන්න පටන්ගන්නවා. ජාතිය දිනවන්න හදන්නේ, ශාසනේ රැකගන්න හදන්නේ එකිනෙකා කඩුවලින් කොටාගෙන. අපේ කට්ටිය වැඩියෙන් ම කැමැති තමන් ගේ ම එවුන්ට කොටන්න.
අපේ මිනිස්සු මූලික ව ම කඳුවුරු දෙකකට බෙදිලා ඉන්නේ. එක කට්ටියක් අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවැතගෙන එන අපේ සම්ප්‍රදාය අගය කරනවා. අපි ඒ අයට ජාතිකවාදී අදහස් තියෙන අය කියලා කියමු. අනෙක් පිරිස කැමැති අලුත් ලිබරල් අදහස්වලට. හැබැයි එහෙම කිව්වා කියලා සියයට සියයක් ජාතිකවාදී අයවත් සියයට සියයක් ලිබරල් අයවත් ඉන්නවා කියලා කියන්න බෑ. අපි හැමෝ ම ඔය අදහස් දෙවර්ගය ම අඩු වැඩි වශයෙන් පිළිගන්නවා. අපේ පිරිසක් ජාතිකවාදී අදහස්වලට බරයි. අනෙක් පිරිස ලිබරල් අදහස්වලට බරයි. ඉතින් අපේ රටේ තියෙන මූලික ම කා කොටාගැනිල්ල තියෙන්නේ මේ දෙපාර්ශ්වය අතර. ජාතිකවාදී අය ලිබරල් අයට කොටනවා. ලිබරල් අය ජාතිකවාදී අයට කොටනවා. ලිබරල් අදහස් පිළිගන්න අයට කොටන්නේ පරගැති දීන ලේබලය අලවලා. ජාතිකවාදී අදහස් පිළිගන්න අයට කොටන්නේ ජාතිවාදී ආගම්වාදී ලේබලය අලවලා.
ඒ අතර ඒ ඒ කඳවුරුවල ඉන්න එවුනුත් කා කොටාගන්නවා. මේ කා කොටාගැනල්ල වැඩියෙන් ම තියෙන්නේ ජාතිකවාදී අදහස් තියෙන අය අතර. තමන් කියන දේ අනිත් අය ඒ විදිහට ම පිළිගනියි කියලා හිතන එකත් මේ අවුල්වලට මුලක්. මිනිස්සු විවිධයි. ඉතින් ඒ ඒ අය යමක් තේරුම්ගන්න විදිහත් වෙනස්. ඒ හින්දා පොදු පුළුල් අරමුණක් වෙනුවෙන් එකතුවෙන මිනිස්සු අතර පොඩි පොඩි වෙනස්කම් තිබුණා කියලා කම්පාවෙන්න හොඳ නෑ. අතේ ඇඟිලි පහ එක වගේ නොවුනාට එකතු නොවුනොත් ඒවායේ ප්‍රයෝජනය ලබාගන්න බෑ. හැබැයි එකතුවෙනවා කියන්නේ ඇඟිලි පහ ම එක වගේ වෙනවා කියන එක නෙවෙයිනේ.
ඒ වගේ ම, එක පොදු අදහසක් විවිධ විදිහට කීමේ ප්‍රයෝජනයත් තේරුම්ගන්න ඕන. එහෙම වුනා ම තමයි විවිධ දැනුම් මට්ටම්වල ඉන්න, යමක් අවබෝධ කරගැනීමේ හැකියාවෙන් වෙනස් විශාල පිරිසකට ඒ අදහස ගෙනියන්න පුළුවන් වෙන්නේ. ගෝණිවලට පොල් එකතුකරනවා වගේ මිනිස්සු එකතුකරන්න බෑ. ඉතින් වැදගත් ම දේ තමයි පුළුවන් තරම් පුළුල් විදිහට හිතලා බොහොම ඉවසීමෙන් වැඩකරන්න යොමුවෙන එක.
අපේ අය අතර තවත් දරුණු රෝගයක් පැතිරිලා තියෙනවා. ඒ තමයි හතුරුයි කියලා හඳුනාගන්න කෙනාට හරි බලවේගයට හරි එක එල්ලේ පහරදෙන්න පෙළැඹෙන එක. සමහර වෙලාවට හතුරන්ට කෙළින් ම පහර නො දී බෑ. ඒත් ඒ වැඩේ හැම වෙලාවේ ම කරන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වා අපි කැරැම් ගහද්දි අනුගමනය කරන උපක්‍රම ගැන හිතන්න. අපි හැම ඉත්තාට ම එක එල්ලේ ගහන්නේ නෑ. සමහර වෙලාවට අපි එක ඉත්තෙක්ට ගහන්නේ වෙන ඉත්තෙක් වලට වැටෙන්න. තවත් සමහර වෙලාවට අපි අපේ ඉත්තෙක්ට ගහන්නේ ඒකා වල කටේ නවතින විදිහට. මහෞෂධ පඬිතුමාගෙන් පාඩම් ඉගෙනගෙන තිබුණත් දැන් ඉන්න අපේ සමහර අයට මේ වගේ උපක්‍රම ගැන වැටැහීමක් නෑ.
ඒත් අපේ හතුරෝ එහෙම නෑ. උන් දන්නවා එක එක සෙල්ලම් දාලා අපි ව දුර්වල කරන විධි. අපිව වට්ටන්න පුළුවන් යුද්ධවලින් විතරක් නෙවෙයි. ආර්ථික ව දුර්වල කරලාත් අපිව නැතිකරන්න පුළුවන්. ඒ වගේ වැඩකට කෙළින් ම ඇවිල්ලා අපි ව කොල්ලකන්න ඕනකමක් නෑ. අපි ලව්වා ම අපේ ආර්ථිකය වට්ටවන තැනට වැඩ සලස්වන්න ඒ අයට පුළුවන්. අපේ ආර්ථික කටයුතු අකාර්යක්‍ෂම රාජ්‍ය ආයතන පද්ධතියකට පවරලා තියෙන්නේ අපේ ම ඕනකමට. කුණු අස්කරන එක පවා ආණ්ඩුවට පවරලා උදේ හවස කාට හරි බැන බැන ඉන්න විතරයි අපි දන්නේ.
2 වැනි පරිච්ඡේදය
පටුන
4 වැනි පරිච්ඡේදය