සීහනාද අඩවිය

ඇයි එකක්? ඉල්ලන්නකො දෙකක්!

මෙයට පෙර පරිච්ඡේදයෙන් කියපු විදිහට ඉන්දියාව කියන්නේ අලුත් රටක්. මේ රට හදන්න පදනම දැම්මේ මීට අවුරුදු 160 කට විතර කලින් - හරියටම කියනවා නම් 1858 දී. ඒ, එංගලන්ත පාර්ලිමේන්තුවේ “ගවර්මන්ට් ඔෆ් ඉන්දියා ඇක්ට් - 1858” කියන පනත සම්මතකිරීමෙන්. ඊට පස්සේ මේ විදිහට එකලස්කරපු “ඉන්දියාව කියන රට” අවුරුදු 89 ක් පවත්වාගෙන ගියේ “බ්‍රිටිෂ් රාජ්” පාලනය යටතේ. අපි කවුරුත් දන්න විදිහට “ඉන්දියාව” කියලා හදපු මේ අලුත් රට නිදහස දිනාගත්තේ 1947 දී. හැබැයි බ්‍රිතාන්‍ය පාලකයෝ “ඒ රට” භාරදෙන්න තීරණය කළේ මිර්ෂා අබු සෆාර් සිරාජුද්දීන් මොහොමඩ් බහදූර් ෂා සෆාර් අධිරාජ්‍යයාගෙන් පැවත ආපු අයට නම් නෙවෙයි. නේරුලාට, ගාන්ධිලාට. ඒත් අලි ජින්නා වගේ මුස්ලිම් නායකයෝ ඒකට එකඟවුනේ නෑ. ඉතින් “ඉන්දියාව” කියලා අලුතෙන් හදපු රට අවුරුදු 90ක් ගතවෙන්නත් කලින් දෙකඩ කරන්න සිද්දවුනා.

 

මේ සිද්දිය අපිට කියලා දීලා තියෙන්නේ වෙන විදිහකට. ඒ කතාවේ හැටියට නම් “ඉන්දියාව” කියලා රටක් මේ මහ පොළොව උඩ අවුරුදු හාර පන්දාහක් තිස්සේ පැවත ආවා. ඉතින් “අවුරුදු දාස් ගණනක් එකට තිබුණු ඒ ඉන්දියාව - එහෙම නැතිනම් මහා භාරතය” දෙකට බෙදන්න තරම් සුද්දෝ කුරිරුවුනා. පකිස්ථානය කියලා අලූත් රටකුත් හැදුවා.

 

ඒත් හොඳින් කරුණු සළකලා බැලූවොත් තේරෙයි මේ පකිස්ථානය “ඉන්දියාව කියන රටට” වඩා ගොඩක් පරණයි කියලා. මේ කියන්නේ පස්සේ කාලෙක බංග්ලාදේශය බවට පත්වුනු “නැගෙනහිර පකිස්ථානය” ගැන නෙවෙයි. මේ කියන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැගුණු භූමියේ ඇතිකරපු පකිස්ථානය ගැන. ඒක අලූත් රටක් නෙවෙයි. සුල්තාන්ලා දිල්ලියට එන්න කලින් පවා ඒ භූමිය තිබුණේ මුස්ලිම් ආධිපත්‍යය යටතේ. ගස්නියේ මොහොමඩ් අධිරාජ්‍යයා මේ ඉන්දු නිම්න භූමිය පාලනය කළේ මීට අවුරුදු දාහකටත් කලින්. ඉතින් ඒ බිමේ අවුරුදු දාහකටත් වැඩි කාලයක් අඛණ්ඩ මුස්ලිම් පාලන තන්ත්‍ර තිබිලා තියෙනවා. ගස්නියේ මොහොමඩ්ට පස්සේ දිල්ලි සුල්තාන්ලා, ඊටත් පස්සේ මූගල් පාලකයෝ ඒ බිම පාලනය කළා.

 

දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ මුස්ලිම් පාලනයක් යටතේ ගොඩනැගුණු එකක් නෙවෙයිනේ කියලා. ඒක ඉතින් කියන්නත් දෙයක් ද? මුස්ලිම් ආගම ඇතිවුනෙත් මීට අවුරුදු 1400 කට විතර කලින්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ මීට අවුරුදු 4000 කටත් කලින් තිබුණු එකක්. ඉස්ලාම් භක්තිකයන් පිළිගන්න විදිහට මහම්මද්තුමාට අල්ලාහ් දෙවියන් ගේ පණිවුඩ ලැබෙන්න පටන් ඇරන් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 610 දී විතර. ඉතින් ඒ හින්දා ඊට කලින් ඇතිවෙච්ච ශිෂ්ටාචාර එකක්වත් මුස්ලිම් වෙන්න විදිහක් නෑ.

 

ඒ වුනාට, නයිල් නිම්න ශිෂ්ටාචාරය තිබුණු බිමේ - ඒ කියන්නේ ඊජිප්තුවේ (මිසරයේ), යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාවලින් පෝෂණය වුනු මෙසොපොතේමියාව තිබුණු බිමේ - ඒ කියන්නේ ඉරාකයේ සහ ඉරානයේ දැන් ඉන්නේ ඉස්ලාම් ආගම අදහන විවිධ ජනවර්ගවලට අයත් පිරිස්. ඉතිහාසය එහෙම තමයි වෙනස්වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයටත් වුනා. ඉතින් පකිස්ථානය ඇතිකළේ අවුරුදු දාහක් විතර අඛණ්ඩව මුස්ලිම්වරු පැලපදියම් වෙලා හිටපු බිමක. ඒ හින්දා ඒක අලුත් රටක් කියලා කියන්න බෑ. නම නම් අලුත්.

 

ඒ වගේ ම තව එකක් අමතක කරන්න හොඳ නෑ. ඒ කාරණය තමයි, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ ඉන්දු ගංගා නිම්නයට විතරක් සීමාවෙච්ච එකක් කියන එක. ඉන්දියානු උප මහාද්වීපය පුරා ම ඒක පැතිරිලා තිබුණේ නෑ. ඒ ශිෂ්ටාචාරයෙයි අද මේ “ඉන්දියාව කියන රටේ” ඉන්න මිනිස්සුයි ඒ මිනිස්සුන් ගේ විවිධ වූ සංස්කෘතීන් අතරයි සම්බන්ධයකුත් නෑ. මේ ගැන විස්තර පස්සේ කතාකරන්න පුළුවන්. පස්සෙ කාලෙක බංග්ලාදේශය බවට පත්වෙච්ච “නැගෙනහිර පකිස්ථානය” නම් ඉපැරැණි වංග දේශයේ කොටසක්. ඒ හින්දා අපි තේරුම්ගන්න ඕන ඉන්දියානු උප මහාද්වීපයේ ඇතිකරපු අලුත් ම රට පකිස්ථානයවත්, බංග්ලාදේශයවත් නෙවෙයි - “ඉන්දියාව” කියලා කියන එක කියලා.

 

මේ “ඉන්දියාව කියන රට” නිෂ්පාදනය කරපු හින්දා බොහෝ ජාතීන්ට තම තමන් ගේ රාජ්‍යයන් අහිමිවුනා. බෙංගාල ජාතිකයන්ට ඔවුන් ගේ වංග දේශය අහිමිවුනා. බංග්ලාදේශය විදිහට මායිම් ලකුණු කරලා දීලා තියෙන්නේ වංග දේශයෙන් කොටසක් විතරයි. අනිත් කොටස ප්‍රාන්තයක් විදිහට “බටහිර බෙංගාලය” කියලා මේ “ඉන්දියාව කියන රටට“ අමුණලා. ඉතින් බෙංගාල ජාතිකයෝ දෙපැත්තට වෙලා බෙංගාල කතා කර කර ඉන්නවා. ෂික් හසීනා කියන බෙංගාල ජාතික කාන්තාව බංග්ලාදේශය පාලනය කරනවා. මමතා බැනර්ජි කියන බෙංගාල ජාතික කාන්තාව බටහිර බෙංගාලය පාලනය කරනවා.

 

බෙංගාලයට කරපු දේ ම තමයි පංජාබයටත් කරලා තියෙන්නේ. රංජිත් සිං වගේ නායකයෝ යටතේ හිස ඔසවපු සික් අධිරාජ්‍යය ඔහු ගේ මරණයෙන් පස්සේ - ඒ කියන්නේ, ක්‍රිස්තු වර්ෂ 1839 ට පස්සේ; දුර්වල වෙන්න පටන්ගත්තා. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම කටයුතු කළා. 1845-46 කාලේ දී, මේ කොම්පැනියේ පුද්ගලික හමුදා සික් ජාතික හමුදාවලට එරෙහිව යුද්ධ කරන්න පටන්ගත්තා. අන්තිමේ දී, 1849 වෙනකොට සික් අධිරාජ්‍යය බිඳවැටුණා. ඊට අවුරුදු 98 කට පස්සේ - ඒ කියන්නේ, 1947 දී; පංජාබයෙන් භාගයක් පකිස්ථානයටත් අනිත් භාගය මේ “ඉන්දියාව” කියලා අලුතෙන් හදපු රටටත් බෙදලා දීලා බ්‍රිතාන්‍ය පාලකයෝ ආපහු යන්න ගියා. දැන් එක “පංජාබයක්” - ඒ කියන්නේ පංජාබ භාගයක්; පකිස්ථානයේ පළාතක්. අනිත් “පංජාබය” - ඒ කියන්නේ ඉතිරි පංජාබ භාගය; “ඉන්දියාව” කියන රටේ ප්‍රාන්තයක්. ඉතින් දැන් ඒ අයත් දෙපැත්තට වෙලා පංජාබ් භාෂාව කතා කර කර ඉන්නවා.

 

මේ විදිහට “ඉන්දියාව කියන රට” නිෂ්පාදනය කිරීම නිසා රටවල් අහිමිවුනේ බෙංගාල ජාතිකයන්ට, පංජාබ් ජාතිකයන්ට විතරක් නෙවෙයි. තවත් ගොඩාක් ජාතිකයන්ට තමන් ගේ රටවල් අහිමිවුනා.

 

අපි කවුරුත් දන්න දෙයක් තමයි දෙමළ ජාතිකයන්ට සිද්ද වෙච්ච අලාභය. ඈත අතීතයේ ඉඳලා ම දෙමළ ජනයා පදිංචි වී හිටිය රාජ්‍යයන් දෙකක් ඉන්දියානු උප මහාද්වීපයේ දකුණට ම වෙන්න තිබුණා. එකක් තමයි ගංගාකොණ්ඩෙයි චෝල මණ්ඩලය, තන්ජාවුර් වගේ තැන් අගනුවර කරගත්ත සොලී රට. අනිත් එක තමයි මධුරාපුරය අගනුවර කරගත්ත පාණ්ඩ්‍යදේශය. මේ රාජ්‍යයන් විජයනගර් අධිරාජ්‍යයේ නැග ඒමත් එක්ක අවුරුදු 200 ක විතර කාලයකට බිඳවැටිලා තිබුණු බව ඇත්ත. ඒත් පස්සෙ කාලෙක මධුරෙයි නායක්වරුන් ගේ සහ තන්ජාවුර් නායක්වරුන් ගේ රාජ්‍යයන් බිහිවුනේ ඉපැරැණි පාණ්ඩ්‍ය, චෝල උරුමය මුල්කරගෙන. ඒත් පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමෙත් සහ ප්‍රංශ හමුදාවලත් මැදිහත්වීම් හින්දා ඒ රාජ්‍යයන් හරියාකාර ව නැවත ගොඩනගාගන්න බැරිවුනා. දෙමළ ජනයාට තමන් ගේ රාජ්‍යයන් අහිමිවුනා.

 

මේ වෙනකොට ඉපැරැණි චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් ගේ බිම් මුල් කරගෙන තමිළ්නාඩුව කියලා හදලා තියෙන ප්‍රාන්තයේ දෙමළ ජනයා මිලියන 70 ක් විතර ජීවත්වෙනවා. ඒත් ඒ අයට පුළුවන්කමක් නෑ මේ “ඉන්දියාව” කියලා හදලා තියෙන රටට කියලා තමන් ගේ රටවල් දෙක ආපහු ඉල්ලගන්න. ඒ වගේ දැවැන්ත “රටක්” එක්ක හැප්පෙන්නේ කොහොම ද? මුලූ ලංකාවේ ම ඉන්නේ දෙමළ ජනයා මිලියන තුනයි. ඒකෙනුත් සියයට පනහක් - ඒ කියන්නේ, ලක්ෂ 15 ක්; විතර තමයි ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වෙන්නේ. දැන් මේ ලක්ෂ 15 වෙනුවෙන් රටක් ඉල්ලනවා. ඒත් අර ලක්ෂ 700 ට අයිති රටවල් දෙක ඉල්ලන්නේ නෑ. අපිට තේරෙන විදිහට නම් ලක්ෂ 15 ට වැඩිය ලක්ෂ 700 ලොකුයි. දෙමළ ජනයා ගේ මේ ප්‍රශ්නය දිහා අපි සානුකම්පිකව බලන්න ඕන. අද ලෝක දෙමළ ජනතාවට රටක් නෑ. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට ආ යුතුයි. එක රටක් නෙවෙයි, තමන්ට අයිති රටවල් දෙක ම ඉල්ලන්න ඔවුන් ක්‍රියා කළ යුතුයි.

 

හුඟක් අය අහනවා, “ඇයි චීනය ටිබෙට් අල්ලගෙන ඉන්නේ” කියලා. ඒත් කවුරුවත් සීකිම්වලට නිදහස ඉල්ලන්නේ නෑ. සීකිම් කියන්නෙත් ටිබෙට්වලට ම අයිති ප්‍රදේශයක්. එස් මහින්ද හාමුදුරුවන්ට අපි ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නෙත් ඒ හින්දානේ. ඉතින් “ඔක්‍යුපයිඩ් ටිබෙට්” ගැන කතා කරන අය “ඔක්‍යුපයිඩ් සීකිම්, ඔක්‍යුපයිඩ් චෝල, ඔක්‍යුපයිඩ් පාණ්ඩ්‍ය, ඔක්‍යුපයිඩ් පංජාබ්” වගේ දේවල් ගැන වචනයක්වත් කතාකරන්නේ නෑ.

 

මම වතාවක් “ඉන්දියාව කියන රටේ” හර්යානා ප්‍රාන්තයේ තියෙන කල්කා නගරයේ ඉඳලා ශිම්ලා නගරයට පුංචි කෝච්චියෙන් ගියා. මේ ගමනේ දී කෝච්චියේ මම ගිය ආසනයට ඉදිරි ආසනයේ වාඩිවෙලා ගිය අවුරුදු 10 ක විතර පුංචි “ඉන්දියානු” ළමයෙක් මාත් එක්ක කතා කළා. මම ලංකාවේ ඉඳලා ආපු කෙනෙක් කියලා දැනගත්තම මේ හාදයා කියනවා, “ලංකාව කියන්නේ ඉස්සර ඉන්දියාවට අයිති පළාතක්” කියලා. ඊට පස්සේ කියනවා, “ලංකාව විතරක් නෙවෙයි, මියන්මාරයත් ඉන්දියාවට  අයිතියි. ඒත් ඉංග්‍රීසි ජාතිකයෝ යනකොට ඒවා ආපහු දුන්නේ නෑ” කියලා. මම ඇහුවා කොහොම ද මේ විස්තර දන්නේ කියලා. “අපිට ඉස්කෝලේ උගන්වනවා” කියලා උත්තරයක් ලැබුණා.

 

ඒ කියන්නේ මේ “ඉන්දියානු බොරුව” - මානව ඉතිහාසයේ ප්‍රබන්ධ කරපු ලොකු ම බොරුව; ඉතා ම විධිමත් විදිහට තවමත් පතුරවමින් ඉන්නවා. මේ බොරුව ප්‍රබන්ධ කරන්න විශාල පිරිසක් - දේශපාලනඥයෝ, ඉතිහාසඥයෝ, කලාකාරයෝ, ආගමික නායකයෝ දායක වෙලා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් නේරු ලියපු “ඩිස්කවරි ඔෆ් ඉන්දියා” වගේ ප්‍රබන්ධ විතරක් නෙවෙයි, අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මේ රටේ සල්ලි වියදම් කරලා පළකරපු බෂාම් ගේ “අසිරිමත් ඉන්දියාව” වගේ පොත්, රොමිලා තාපර් වගේ අය ගේ ඉතිහාස පොත් මේ කතාව පතුරුවන්න දායකවුනා. ඊට අමතරව අපේ ම කට්ටියත් මේ වෙනුවෙන් දුක්ගන්නවා.

 

මෑතක ඉඳලා “මහා භාරතය” වගේ මිථ්‍යා කතාවලට අමතරව “ඉන්දියානු සංදර්භයක්” ඇතුළේ, බ්‍රාහ්මණ සංදර්භයක් ඇතුළේ නිෂ්පාදනය කළ සිද්ධාර්ථ කුමාරයා ගේ කතාව, අශෝක අධිරාජ්‍යයා ගේ කතාව පවා සිංහල හඬ කවලා, උප සිරැසි යොදලා අපේ රූපවාහිනී නාලිකාවලින් පෙන්නනවා. මේ හැම කෙනෙක් ම ඉන්දියාව කියන්නේ අලුත් රටක් කියන එක අමතකකරනවා. සිද්ධාර්ථ කුමාරයා ඉපැදුණු ශාක්‍ය දේශයේ බමුණු බලය නො තිබුණු බව අමතකකරනවා. අශෝක අධිරාජ්‍යයා පාලනය කරපු මගධ දේශය තිබුණේ ඉන්දියානු උප මහාද්වීපයේ ඊසානදිගට බර ව කියන එක අමතක කරනවා. ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන පැත්තේ සංස්කෘතිය වයඹ පැත්තේ සංස්කෘතියට වඩා හාත්පසින් ම වෙනස් බව අමතකකරනවා. බැමිණිය කියන්නේ බමුණා ගේ බිරිඳ වුනාට පරිභ්‍රාජිකාවක් කියන්නේ පරිභ්‍රාජකයෙක් ගේ බිරිඳ නොවන බව අමතකකරනවා. මේ දේවල් විස්තරාත්මක ව ඉදිරි පරිච්ඡේදවලින් කතාකරන්න පුළුවන්.

 

මේ මහා බොරුවේ මූලික දේශපාලනික ස්වරූපය හඳුනාගත්ත අපිට දැන් තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්. අපි ඊ ළඟ පරිච්ඡේදයෙන් “ඉන්දියාවේ සංස්කෘතිය” ගැන කතාකරමු.